ඊශ්‍රායලය ලෙබනනයට බෝම්බ හෙළයි

දහස් සංඛ්‍යාත වැසියෝ හිස් ලූ ලූ අත පලා යති

තුවාල ලැබුවෝ අටසියය පනී

ලෙබනනය කේන්ද්‍ර කරගත් හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව ඊයේ පස්වරුවේ සිට එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙසියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය ගණන තවත් ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ. ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස අටසියයකට ආසන්න බවත් වාර්තා වේ. ඊශ්‍රායල හමුදාව මේ දරුණු ප්‍රහාරය ආරම්භ කර ඇත්තේ පසුගියදා හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට එල්ල කළ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායල හමුදාවේ බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ හෙස්බුල්ලා සාමාජිකයන් ගැවසෙන ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ප්‍රහාරයට පෙර ලෙබනනයේ ලක්ෂයකට ආසන්න ජනතාවගේ දුරකතනවලට කෙටි පණිවිඩ යැවීමෙන් පැය කිහිපයකට පසුවය. ඊශ්‍රායල ප්‍රහාරයෙන් දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා සාමාජිකයන් පමණක් නොව සිවිල් වැසියන් ද විශාල පිරිසක් ඝාතනයට ලක්වී ඇත.

මේ ප්‍රහාරය හෙළා දකින බවට එරට රජය ප්‍රකාශ කර ඇති අතර, සිය ඉලක්ක සපුරා ගන්නා තුරු ප්‍රහාරය අඛණ්ඩව සිදු කරන බවට ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමැතිවරයා නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ හෙස්බුල්ලා සංවිධානය දකුණු ලෙබනන් – ඊශ්‍රායල දේශසීමාව අසල පිහිටි ඊශ්‍රායල පළාත්වලට එල්ල කරන ප්‍රහාර මැඬ පවත්වා එම පළාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරනතුරු හිස්බුල්ලා සංවිධානයට ප්‍රහාර එල්ල කිරීම නොනවත්වා සිදු කරන බවය.

ඊයේ ඊශ්‍රායල හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරය මෑත කාලයේ සිදු කළ දරුණුතම ප්‍රහාරය බව යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරය මධ්‍යයේ දකුණු ලෙබනනයේ ජනතාව හිස් ලූ ලූ අත පලා යමින් සිටින බවත්, මුළු පළාතම කළබලකාරී ස්වරූපයක් දිස්වන බවත් එම පළාතේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරතව සිටින විදෙස් මාධ්‍යවේදීන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ලෙබනනයේ තොරතුරු අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල සහ බැංකු රැසක් පිහිටා ඇති දකුණු ලෙබනනය මුළුමනින්ම යුද පිටියක් බවට පත් වී ඇති අතර, මුළු පළාත පුරා එක දිගට සයිරන් හඬ පැතිරී යන බව ද විදෙස් යුද මාධ්‍යවේදීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක 300කට වැඩි ප්‍රමාණයකට බෝම්බ හෙළූ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.