විවිධ බාධක-කම්කටොලුවලට අනුර කුමාර මුහුණ දුන්නත් අරමුණ කරා යන ගමන කිසිවිටෙකත් අත්හැරියේ නැහැ

විවිධ බාධක හා කම්කටොලුවලට මුහුණ දුන්නත් අනුර කුමාර දිසානායක මහතා තම අරමුණ කරා යන ගමන කිසිවිටෙකත් අත්නොහැරියේ යැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ.

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් ප්‍රමුඛ විංශත් වර්ගික කාරක සංඝ සභික නාහිමිවරුන්ගේ ආශීර්වාදය ලබාගත් අවස්ථාවේ අස්ගිරි අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

අස්ගිරි මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කොට නව ජනපතිවරයා වෙත ආශීර්වාද කළ අතර අනතුරුව අනුශාසනාවක් කළ අනුනාමියෝ මෙසේද පැවැසූහ.

විවිධ බාධක කම්කටොලු, නැගීම්, වැටීම්වලට ඔබ මුහුණ දුන්නා. එහෙත් තමන්ගේ අරමුණ කරා යන ගමන අත්හැරියේ නැහැ. ශ්‍රී ලංකා නාමය ලෝක තලයට ගෙන යන තෙක් ධෛර්යයෙන් යුතුව ඒ ගමනේ යෙදෙන බව ඔබ පැවැසුවා. ඒක බුද්ධ වචනයටත් අනුකූලයි. අතිශය බහුතර ජනතාවගේ අභිලාෂය මුදුන්පත් කරමින් ඔබ ජනපති ධුරයට පත් වුණා. අනුරාධපුරයේ ජන්මලාභය ලබා ගමක ඉපදී හොඳ අධ්‍යාපනයක් ලබාගත් ඔබ මේ රටේ ජනපති ධුරයට පත්වූයේ බහුතර ජනතාවගේ කැමැත්තෙන්. එක පැත්තකින් ඔබ අහිංසක ගැමියෙක් කිව්වත් වැරදි නැහැ. සම්ප්‍රදාය, උරුමය හඳුනන අපේකම තියෙන පුද්ගලයෙක්.

ඡන්දය ප්‍රකාශ කළ හා නොකළ සියලු දෙනාට එකසේ සේවය කරන්නත්, ඡන්දය නොදුන් අයගේ විශ්වාසය ඇතිවන ලෙස කටයුතු කරන බවත් ජනපති ධුරයේ වැඩ භාර ගනිමින් ඔබ පැවැසුවා. ඒක හොඳ ප්‍රකාශයක්. රටේම ජනපති ඔබයි. මේ වෙලාවේ පැවරුණු කාර්ය හොඳන් ඉටු කරන්න. බෞද්ධයින්ට පමණක් නොව සියලු ජාතීන්ට හා ආගමිකයින්ටත් යහපත් වන රටක් ගොඩනගන්න. අනාගතයේ මේ රටේ දරුවන්ට ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා සාමාජීය වශයෙන් නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමට ඔබට සංඝරත්නයේ ආශීර්වාදය ලබා දෙනවා.