වසර 5කට පසු ශ්‍රී ලංකාවේදී නවසීලන්තය පැරදවීමට හොඳම අවස්ථාවක්-අවසන් දිනයේ තීරණය දෙපැත්තට පැද්දෙයි

සංචාරක නවසීලන්ත පිල සමඟ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව ඉතිරි කඩුලු දෙක අද අවසන් දිනයේදී ලබාගත යුතු අතර, නවසීලන්තය ජය ගැනීමට නම් එම අවසන් කඩුලු දෙක තුළදී තවත් ලකුණු 68ක් ලබා ගැනීම අනිවාර්ය වේ. එබැවින් මේ තරගයේ අවසන් දිනය වූ අද ජයග්‍රහණය දෙපිලටම දෝලනය වෙමින් පවතින අතර වැඩි වාසිය ශ්‍රී ලංකා පිල සතුව ඇත.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 275ක ඉලක්කයක් හඹායන නවසීලන්ත පිල ඊයේ සිව්වැනි දිනය නිමා වන විට කඩුලු 8කට ලකුණු 207ක් ලබා සිටියේය. ඔවුන්ගේ පළපුරුදු පිතිකරු රචින් රවීන්ද්‍ර නොදැවී ලකුණු 91ක් ලබා සිටීම හැර ඔවුන්ට වෙනත් කිසිදු සහනයක් නැත. තම දෙවැනි ටෙස්ට් ශතකය අබියස සිටින රවින්ද්‍රගේ කඩුල්ල අද උදෑසන දවා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට උදා වුවහොත් ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නැත. කඩුලු 3 බැගින් බිඳ හෙළාගත් රමේෂ් මෙන්ඩිස්ගේ හා ප්‍රභාත් ජයසූරියගේ දඟ පන්දු හමුවේ නවසීලන්තයට මේ අභියෝග ජය ගැනීම පහසු නොවනු ඇත. ගාල්ල තණතිල්ල පිතිකරුවන්ට වඩා දඟ පන්දු යවන්නන්ට වඩාත් හිතකර තත්ත්වයකට පරිවර්තනයවී තිබේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් පෙරේදා දිනයේ තරගය නොපැවත්වූ අතර, තමන් ඡන්දය ලියාපදිංචිවී ඇති ඡන්ද බල ප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එදින රාත්‍රියේම ගාල්ලේ නවාතැන්ගෙන සිටින තරු පහේ හෝටලය වෙත වාර්තා කර තිබිණි. පෙරවරු කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ටෙස්ට් තරගය නියමිත වේලාවට ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පිල මුල් ඉනිමට රැස් කළ ලකුණු 305ට පිළිතුරු ලෙස නවසීලන්ත පිල මුල් ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 340ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 309ක් ලබා ගත්තේය. දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරන නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 51ක් ලබා සිටියදී වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවිය. එහෙත් මිනිත්තු කිහිපයක් ගෙවී යද්දී යළි තරගය ආරම්භ කිරීමේ අවස්ථාව උදා වූවේය.

තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 6ක් අහිමිව ලකුණු 237ක් ලබාසිටි ශ්‍රී ලංකා පිලේ ඉතිරි කඩුලු 4 තවත් ලකුණු 72ක් එකතුවෙද්දී බිඳ වැටී ගියේය. ලකුණු 34ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් තම 43 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අතර, නායක ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලැබීය. මේ තීරණාත්මක කඩුලු දෙක ලබාගත් වමත් දඟ පන්දු යවන අජාස් පටේල් ලකුණු 90කට කඩුලු 6ක් බිඳ හෙළා දස්කම් දැක්වීය. දඟ පන්දුවට රජ දහනක් ලෙස හඳුන්වන ගාලු තණතිල්ලෙන් වේග පන්දුවට විශාල වාසියක් ගත් අඩි 6යි අඟල් 6ක් උසැති විලියම් ඕ’රූක් පළමු ඉනිමේ කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේ කඩුලු 3ක් දවා ගත්තේය. 23 හැවිරිදි ඕ’රූක් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් දෙවැනි අවස්ථාව මේ තරගයේදී සටහන් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 50ක්, දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න ලකුණු 83ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 61 ලබා ගත්තේය.