ලෝක කුසලානය මවුබිමට රැගෙන ඒම එකම හීනයයි-ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද සාජා යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හා සාජා ක්‍රීඩාංගණවලදී තවත් දින 10කින් ආරම්භ වන විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මවුබිමට රැගෙන ඒම තමන්ගේත් කණ්ඩායමේත් එකම හීනය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය. තරගාවලියට අවශ්‍ය පෙර පුහුණුව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දින සාජා බලා පිටත්ව යන අතර, පුහුණු තරග 2කට ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සමඟ වත්මන් ශූර ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය හා පාකිස්තානය එක්ව සිටිති. නිමාවට පත්වූ ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් කඩුලු 3ක පරාජයක් ලැබූ පාකිස්තාන කාන්තාවෝ ලබන 3 වැනිදා පළමු තරගයේදී සාජා ක්‍රීඩාංගණයේදී මුණගැසෙති.

“අපි තරග කරන්නේ ලෙහෙසි පහසු කාණ්ඩයකින් නොවෙයි. ලෝකයේ හොඳම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අපේ කාණ්ඩයේ ඉන්නවා. හොඳම දක්ෂතා දැක්වුවහොත් අපිට දිනන්න පුළුවන්. කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බෑ. අපිට රාත්‍රි තරග 3ක් තියෙනවා. ඒ නිසා රාත්‍රි පුහුණු සැසි පැවැත්වූවා. හොඳ පුහුණුවක් ලබා තියෙන නිසා හොඳින් තරගාවලියට මුහුණදිය හැකියි” චමරි අතපත්තු පැවසුවාය.

ආසියානු කුසලානය ජය ගත්තේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තුළ ගොඩනැඟුණු උපරිම රිද්මයකින් බව ඇය පැවසුවාය. ආසියානු කුසලානයට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 14ක්ම මේ තරගාවලියට සහභාගි වේ. මෙවර කණ්ඩායමට ඉනෝකා රණවීර ඇතුළත්ව සිටින අතර, ඇය අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් මෙන්ම හිටපු නායිකාවක් ද වේ.

“ලෝක කුසලාන තරගාවලිය ආසියානු තරගාවලියට වඩා වෙනස්. සාජා විකට් එක සාමාන්‍ය‍ෙයන් පිතිකරණයට හොඳයි. ඒ වුණත් දැන් අලුත් විකට් සාජාවල හදලා තියෙන බව දැන ගත්තා. ඒ නිසා දැන් තණතිල්ල අධ්‍යයනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් අද තියෙන තත්ත්වය පිළිබඳ සතුටුයි. ඒක කණ්ඩායමක් ලෙස ලැබූ ජයක්. ඉදිරියේදීත් ප්‍රේක්ෂකයන් අපව දිරිමත් කරයි. අපේ හීනය ලෝක කුසලානය මවුබිමට රැගෙන ඒමයි” චමරි පැවසුවාය.

මෙවර ලෝක කුසලානයේදී තම කණ්ඩායමට ලැබී ඇත්තේ ඉතාම ශක්තිමත් කණ්ඩායම්වලින් සමන්විත මූලික වටයක් වුවද එය තමන් සුබවාදීව දකින බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා මේ මාධ්‍ය හමුවේදී පැවසීය.

“දඹුල්ලෙදී හොඳ පුහුණුවක් අපි මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා ලැබුවා. අපි වැටිලා තියෙන්නේ හොඳම ගෲප් එකකටයි. අපේ උපරිමයම මේ තරගාවලියේදි ලබා දිය යුතුයි. අපි අත අරින්නේ නෑ. අපේ කණ්ඩායම හොඳම තත්ත්වයේ ඉන්නවා” යැයි ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියේය.