පැෆ්රල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට පැසසුම්

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට, පූර්ව – මැතිවරණ කාලයේ සිට ඡන්ද දිනය දක්වා වැදගත් කාර්යභාරයක් මැතිවරණ කොමිෂන් සභාව ඉටුකළ බව පැෆ්රල් සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටි එම සංවිධානය මෙසේද කියා සිටියේය.

මෙවර ජනාධිපතිවරණය සාමකාමීව අවසන් කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදයට සක්‍රිය නැඹුරුවක් ඇති ශ්‍රී ලංකා පුරවැසියන් විසින් දක්වන ලද දායකත්වය පිළිබඳව ප්‍රණාමය හිමිවිය යුතු බවද ඔවුහු කියා සිටියහ.

2024 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දදායකයන් 17,140,354ක්, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 කදී, තමන්ගේ ඡන්දය භාවිත කරන්නට සුදුසුකම් ලබා සිටියහ. 1982 වසරේදී පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණයේ සිට මේ දක්වා වාර්තාගත ඉහළම ජනාධිපති අපේක්ෂකයන් සංඛ්‍යාවක් වන අපේක්ෂකයෝ 39 දෙනෙක් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. ඡන්දදායකයන් උද්‍යෝගිමත්ව මැතිවරණය ක්‍රියාවලියට සහභාගි වූ අතර, ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ආසන්න වශයෙන් සියයට 75ත් සියයට 80ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ (ECSL)මග පෙන්වීමත්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයත් සමඟ 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව අවසන් වී ඇත.

මැතිවරණ ක්‍රියාවලිය පුරාවටම නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අදාළ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදි. පොලිස්පතිවරයකු (IGP) නොමැති, අවස්ථාවකදී පවා ශ්‍රී ලංකා පොලිසිය ඵලදායීව සහ අපක්ෂපාතීව කටයුතු කළ අතර මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන පසුබිම සකස් කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය වීම අවම කිරීම, ප්‍රචණ්ඩත්වය අවම කිරීම සහ පුරවැසියාගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය ගත් උත්සාහයන් පැෆරල් සංවිධානය අගය කරයි.

5000කට වැඩි මැතිවරණ නිරීක්ෂකයන්ගේ සක්‍රිය දායකත්වය සමඟින්, සැලකිය යුතු ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් පැෆ්රල් සංවිධානය විසින් ආවරණය කරන ලදි. මැතිවරණ දිනය තුළ පැමිණිලි 164ක් (තහවුරු කළ 109ක් සහ තහවුරු නොකළ 55ක්) පැෆරල් වෙත ලැබී ඇති අතර, මින් පැමිණිලි 161ක් නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණ, ඡන්දදායකයින්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි ලෙස දැක්විය හැකිය.

යටියන්තොට, දෙවිනුවර, අතුළුගොඩ, ගම්පහ, නාත්තන්ඩිය, කුලියාපිටිය, මාතර, වැලිගම, බෙන්තර-ඇල්පිටිය, බලංගොඩ, කොළොන්නාව, රත්ගම, කිරිබත්ගොඩ, මිනුවන්ගොඩ, කෝට්ටේ, රන්පොකුණගම (නිට්ටඹුව) සහ කෝන්ගහ මාවත (ගාල්ල) වැනි ප්‍රදේශවලින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සිදුවීම් වාර්තා විය. නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණයේ සිට ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම දක්වා මෙම වාර්තා වූ සිදුවීම් විහිදී යයි. නාඋල, මැද්දේකන්ද, බණ්ඩාරවෙල, බැරගම සහ මාවුස්සාව (පාත හේවාහැට) යන ප්‍රදේශවලින් බිය ගැන්වීම්, තර්ජන කිරීම් සහ පහරදීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා පහක් වාර්තා විය. ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු, මහජන රැස්වීම්, බියගැන්වීම් සහ ඡන්දදායකයන්ට බලපෑම් කිරීම වැනි බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැත.