ශ්‍රී ලංකා අභිනව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (23) යොමු කර ඇත.

චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලී අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වූ දා සිට දෙරට සෑමවිටම මිත්‍රත්වයේ සහජීවනය මෙන්ම විශාල සහ කුඩා රටවල් අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතාව පිළිබඳ මනා ආදර්ශයක් සපයා ඇත.

චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බවත්, අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය වැඩිදියුණු කිරීමට අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව ක්‍රියාකිරීමට සූදානම් බවත් ෂී ජින් පිං මහතා කියාසිටී. එසේම, චීනය සහ ශ්‍රී ලංකාව අතර“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළින් උසස් තත්ත්වයේ ප්‍රතිඵල අත් කරගැනීමටත්, දෙරට අතර ස්ථාවර හා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය සඳහාත් අඛණ්ඩව කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් කියාසිටී.