දේශපාලන බලවත්හු කිහිප දෙනෙක් රටින් යති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පෙරේදා (21) රාත්‍රියේ සිට දැඩි ආරක්ෂක රැකවල් සපයමින් සිටී.

එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වන විට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව 09/21 දින සවස 02.25ට හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.

එමෙන්ම 09/21 දින රාත්‍රී 11.15 ට හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

එසේම ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් 09/22 දින අලුයම 12.50ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී. එක්ස්.- 610 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

එමෙන්ම ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිය ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ මහතා 09/22 දින අලුයම 03.30ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ සිට අමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ අමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.