සංචාරක නවසීලන්ත පිල සමඟ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව මුල් ඉනිමට රැස් කළ ලකුණු 305ට පිළිතුරු ලෙස නවසීලන්ත පිල දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 4කට ලකුණු 255ක් ලබා පළමු ඉනිමේ කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 50ක් පසුපසින් සිටී. නවසීලන්ත පිතිකරුවෝ පීඩනයකින් තොරව සැලසුම් සහගත පහසු ගමනක නිරතවෙමින් පන්දුවට පහරදීම නිමාවූ දෙවැනි දිනයේ දුටු විශේෂත්වයකි. පෙරේදා පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා සිටි අතර, ඊයේ ඉතිරි කඩුලු තුන ඕවර 3.5කදී ලකුණු තුනක් පමණක් එකතු වෙද්දී දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
දඟ පන්දුවට රජ දහනක් ලෙස හඳුන්වන ගාලු තණතිල්ලෙන් වේග පන්දුවට විශාල වාසියක් ගත් අඩි 6යි අඟල් 6ක් උසැති විලියම් ඕ’රූක් කඩුලු 5ක්
දවා ගැනීම කැපී පෙනිණි. 23 හැවිරිදි ඕ’රූක් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් දෙවැනි අවස්ථාව ඊයේ සටහන් කළේය. එහෙත් නවසීලන්තය පන්දුවට පහර දෙද්දී බිඳ වැටුණු කඩුලු 4ම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ බිඳ හෙළා ගැනීම කැපී පෙනිණි. නායක ධනංජය කඩුලු 2ක් හා රමේෂ්, ප්‍රභාත් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වූහ.
ගාල්ලට උදෑසන අවස්ථා දෙකකදී ඇද හැලුණු වර්ෂාවෙන් සිදුවූ බාධා මැද තරගය ඉදිරියට ගිය අතර, අයහපත් ආලෝක තත්ත්වය මැද පස්වරු 5.47ට දිනය නිමාකරද්දී ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 41ක් හා ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 18ක් ලබා 5 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 59ක සබඳතාවක් එක් කොට තිබිණි.
තේ පානයට මිනිත්තු කිහිපයක් තිබියදී ටොම් ලෙතම්ගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වූ අතර, එල්ල කළ ස්විප් පහර උඩ පන්දුවක් ලෙස ස්කුවයාර් ලෙග්හි සිටි අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම රැක ගත්තේය. එවිට ලෙතම් පන්දු 111කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 70ක් ලබා සිටි අතර, එය ඔහුගේ 29 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය. අනෙක් ආරම්භක පිතිකරු ඩ්වෙන් කෝන්වේ, රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 17කට දැවී ගිය පසු කේන් විලියම්සන් හා ටොම් ලෙතම් පන්දු 120කදී ලකුණු 73ක සබඳතාවක් දෙවැනි කඩුල්ලට ගොඩනැඟීමට සමත් වූහ.
අනතුරුව විලියම්සන් හා රචින් රවින්ද්‍ර එක්ව පන්දු 84කදී ලකුණු 51ක් එක්කර සිටියදී විලියම්සන් දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූවේය. විලියම්සන් ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරක් එල්ල කරද්දී ඉහළ නැඟි පන්දුව කඩුලු රකින කුසල් මෙන්ඩිස් බිම දිගාවී රැක ගැනීමෙන් ලකුණු 55කට දැවී ගියේය. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට එල්ල කළ යෝධ හයේ පහරක් ද සමඟ ඔහු 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාවට එරෙහි 6 වැනි අර්ධ ශතකය වූවේය. පන්දු 48කදී හතරේ 4ක් සමඟ ලකුණු 39ක් ලබා සිටි රචින් රවින්ද්රාගේ කඩුල්ල බිඳ දැමීමට ධනංජය සමත්වීමෙන් නවසීලන්ත ලකුණු වේගය අඩාළ විය.
මේ තරගයේදී කමිඳු මෙන්ඩිස් තම 4 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 114ක් එක්කළ අතර, කුසල් මෙන්ඩිස් 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ලකුණු 50ක් වාර්තා කළේය. කමිඳු ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාවේ වේගයෙන්ම ශතක 4ක් වාර්තා කළ පිතිකරු ලෙස ඉතිහාසයට එක් වූවේය.
අද තරගයේ තෙවැනි දිනයයි.