ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩිකාවකට අයුතු ලිංගික හැසිරීමකට බලපෑම් කළ බවට චෝදනා තහවුරු වීමෙන් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වී සිටි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක 52 හැවිරිදි දුලිප් සමරවීරට මින්මතු කිසිදු අයුරකින් එරට ඕනෑම ආකාරයේ ක්‍රිකට් ව්‍යුහයකට එක්වීමත්, වසර 20ක් ක්‍රිකට් තහනමක් පැනැවීමටත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ආරක්ෂක හේතුමත නම හෙළි නොකරනු ලබන අදාළ ක්‍රීඩිකාව අයුතු ලිංගික හැසිරීමට එකඟ නොවන්නේ නම් ඇයට එම කණ්ඩායමේ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදෙන බවට බලපෑම් කර ඇතැයි ද, එය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ආචාරධර්ම පද්ධතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් දුලිප් සමරවීරට එම දඬුවම පනවමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. මේ තහනමත් සමඟ ඔහුට ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ආයතනය, ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම්, කාන්තා හෝ පිරිමි බිග්බෑෂ් ලීග් තරග බිමේ කිසිදු තනතුරක් දැරීමට නොහැකි බවද වාර්තා වේ.
වින්දිතයා වන අදාළ ක්‍රීඩිකාව ඉදිරියට පැමිණ පුහුණුකරුගේ අවිනීත හැසිරීම සම්බන්ධව හෙළි කිරීමට තරම් නිර්භීත වූ බවත්, ඇය ඇදහිය නොහැකි තරම් ධෛර්යයක් පෙන්නුම් කර ඇති බවත් සඳහන් කර ඇති වික්ටෝරියා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී නික් කමින්ස් පිටියේදි සහ ඉන් පිටතදී ඇගේ අරමුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය සියලු සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව ද ප්‍රකාශ කර තිබේ.
“මේවා ක්‍රිකට් ප්‍රජාවේ බොහෝ දෙනා කම්පනයට හා කැලඹිමට ලක් කළ අතිශය බරපතළ හෙළිදරව්වක්. අපගේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ඉතා වැදගත්. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානින් නැවත මෙවැනි සිදුවිම් නොවීමට වග බලා ගන්නා බවට සහතික විය යුතුයි.” මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් ප්‍රකාශ කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය.