පුත්තලම, තිල්අඩිය කලාපයේ ඡන්ද දායකයන් වෙත බෙදාහැරීමට නිකුත් කළ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ තිබී ඊයේ (19) උදෑසන සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව ඉහළ තැපැල් නිලධාරීන්ගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ්. අමීර් මහතා දිනමිණට ප්‍රකාශ කළේය.
ඒ අනුව පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් තිල්අඩිය කලාපයට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 5,723ක සංඛ්‍යාව අතුරින් මෙලෙස 147ක ඡන්ද පත්‍රිකා තොගයක් අදාළ වෙළෙඳසල තුළ තිබෙන බවට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ ස්ථානයට නිලධාරීන් පිරිසක් යවා එම ඡන්ද පත්‍රිකා තොගය ආපසු තැපැල් කාර්යාලයට රැගෙන ඒමට කටයුතු තැපැල් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට නිල ඡන්ද පත්‍රිකා 47,610ක් ලැබී ඇති අතර, එයින් 5,638ක් බෙදා දීමට නොහැකි වී ඇත. එසේ බෙදා දීමට නොහැකි වූ ඡන්ද පත්‍රිකාවලින් 1,176ක් ඡන්ද දායකයන් විසින් පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට පැමිණ භාර ගෙන තිබිණි. එයින්ද ඉතිරි ඡන්ද පත්‍රිකාවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් 19 දිනද ඡන්ද දායකයන් පැමිණ භාර ගෙන තිබේ.
මෙවර පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට ලැබුණු නිල ඡන්ද පත්‍රිකා 47,610 කලාප 15කට බෙදාහැරීම සඳහා තැපැල්කරුවන් 14 දෙනකු යොදවා තිබු බවත්, කෙසේ නමුත් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කළ යුතුව තිබූ 14 දින සවස 6.00 වන විටද එය අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉතිරි ඡන්ද පත්‍රිකා ප්‍රධාන තැපැල් කාර්යාලය භාරයට ගෙන තිබූ බවත් කියයි. එහෙත් තිල්අඩිය දෙවැනි හරස් වීදියේ හා තුන්වැනි හරස් වීදියේ ලියුම් බෙදන්නා පදිංචිකරුවන්ට අදාළ ඡන්ද පත්‍රිකා එසේ ආපසු තැපැල් කාර්යාලයට රැගෙන ඒම පසෙක තබා මෙලෙස වෙළෙඳසලකට ලබා දීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ වී තිබේ. නිල ඡන්ද පත්‍රිකාවක් කිසිදු අන්දමකින් වෙනත් අයකුට ලබා දිය නොහැකි බව මැතිවර්ණ නීතිවල දැඩි ලෙස සඳහන් තිබෙන පසුබිමක මෙලෙස ඡන්ද පත්‍රිකා අන් සතු කිරීම බරපතළ වරදක් ලෙස සැලකේ.
කෙසේ වෙතත් අදාළ නිල ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් පුත්තලම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රාදේශීය තැපැල් අධිකාරි ඇතුළු ඉහළ නිලධාරීන්ගෙන් ලත් උපදෙස් මත විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට 19 දින දහවල් වන විට නැවත කටයුතු ආරම්භ කළ බව පුත්තලම තැපැල් ස්ථානාධිපතිවරයා දිනමිණට පැවසීය.