ඉදිරි ජනපතිවරණය දැයේ දරුවන්ගේ අනාගතය විශ්වාසනීය බව තහවුරු කරන මැතිවරණයක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මහජන එක්සත් පෙරමුණ මහරගම කලාප සමුළුව අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගන්න තීරණ පාර්ලිමේන්තුව සම්මත කර දිය යුතු බවත් එහෙම නොවුණහොත් දවස් තිහකට පස්සේ ඒ තීරණ ඇනහිටින බවත් අගමැතිවරයා කීවේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. “ලබාගත් වාර්තාවලට අනුව 100% කැන්වසින් අවසන්. එය අපට දුන්න පළමු වගකීම. ඒ වගකීම අපි ඉටුකළා. ඒ වෙනුවෙන් දේශපාලකයන් වශයෙන් අපි ග්රාමීයවත් ජාතික වශයෙනුත් කැප වුණා. රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්න විට තිබුණු තත්ත්වය දීර්ඝව කියන්න ඕන නැහැ. ස්වාධීන ආචාර්ය දේශක මහත්වරු ස්වාධීනව දක්වපු අදහස් ඔබ අප කවුරුත් දන්නවා. මතකය පමණක් අපි පස්සට ගෙනියනවා. එදා තත්ත්වය අපේ මතකයේ පවතිනවා. අපි ආණ්ඩුවක් බිහි කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළා. ඇමැති මණ්ඩලයේ මමත් හිටියා. මාස කිහිපයක් යනකොට ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ආවා. රටේ දරුණුතම මූල්‍ය ගැටලුවක් ඇති වුණා. ඒ අර්බුදය තුළින් මතුවෙමින් තිබුණු මුදල් අර්බුදය මහජන ජීවිත දක්වා ගමන් කළා. ඔබ කලින් භුක්ති විඳපු දේ යළිත් එදිනෙදා ඇතිවන පීඩනකාරී තත්ත්වය තුළ භුක්ති විඳින්න බැහැ. බඩු මිල ඉහළ ගියා. පොහොර නැහැ. බෙහෙත් නැහැ. වවුනියාවේ ප්‍රාදේශීය ලේකම්වරිය කතා කරනකොට භූමිතෙල් බින්දුවක් අපේ පළාතේ නෑ කිව්වා. අඩුම තරමේ භූමිතෙල් ටික එවන්න කියලා ඉල්ලුවා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇනහිටිනවිට ජනාධිපතිවරයා අස්වෙලා ගියා. අගමැතිවරයාට අයින් වෙන්න වුණා. අගමැති අයින් වුණාම මුළු කැබිනට් මණ්ඩලයම අහෝසි වුණා සේ සලකනවා. මේ පැත්තෙන් දේශපාලන අර්බුදය එසේ වැඩෙනකොට අනෙක් පැත්තෙන් ගිනිදැල් මතු වෙනවා දැක්කා. ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය කුඩුපට්ටම් කළා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ ගිනි තිබ්බා. විරෝධය එක පැත්තක්. අනෙක් පැත්ත විනාශයක්. විනාශය අවුල් ජාලාවක් දක්වා පැතිරෙනවා නම් ඒ තුළ භයානක බලවේග පැතිරෙන්න පටන් ගත්තා. ප්රජාතන්ත්රවාදයට දරුණු තත්ත්වයක් අත්වුණා.
මහජන ජීවිත, රාජ්‍ය පාලනය අපේ සුරක්ෂිතභාවය විතරක් නෙවෙයි, භයානක තත්ත්වයක් අපේ රට ඇතුළේ වර්ධනය වුණොත් මොකද කරන්නේ කියලා අසල්වැසි රටවල් බලන් හිටියා. ඒ දවස් කිහිපය අපි හිටියේ කොහොමද? රාජ්‍ය නායකයෙක් නැති රාජ්‍යයක් තිබුණා. ඒ වෙලාව අවුල් වියවුල් සහිත තත්ත්වයක්. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නායකයා විදිහට හිටියේ රනිල් වික්‍රමසිංහ. එතුමාව ජනාධිපතිවරයා ලෙස පත් කරන්න පාර්ලිමේන්තුව ගත් තීරණය මන්ත්‍රීවරු බහුතරයකින් අනුමත වුණා.
ප්‍රේමදාස ජනාධිපතිවරයා පාරේ බෝම්බයකින් මියගිය දවසත් මෙහෙමයි. රට අරාජිකයි. නායකයෙක් නැති රාජ්‍යයක් බවට පත්වෙලා අවුල් ඇතිවිය හැකි තත්ත්වයක් තිබුණේ. ඒ වෙලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක විපක්ෂ නායකවරිය විදිහට කතාකරලා ඩී.බී. විජේතුංග මහතාට කිව්වා ඔබතුමා වැඩ බලන ජනාධිපති විදිහට විතරක් නෙවෙයි ස්ථීරම ජනාධිපති විදියට ඉදිරි මාස කිහිපයේ වැඩ කරන්න කියලා.
විපක්ෂය විදියට අපි ඔබට තරගයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා වෙලාවට ඡන්දය තියන්න කිව්වා. ඒ සාකච්ඡාවේ දී සිද්ධ වුණේ එච්චරයි. ඕනෑම රටක ජාතික අර්බුදයක් ඇතිවෙලා භයානක ව්‍යසනයක් රටේ සිදු වෙනකොට ප්රජාතන්ත්රවාදී දේශපාලන නායකයන්ගේ එකඟතාවයෙන් රට පවත්වාගෙන යනවා. නමුත් මෙවර අපේ රටේ එහෙම දෙයක් වුණේ නැහැ. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති ධුරයට තරග කරනවා කිව්වා. අනුර කුමාර දිසානායකත් තරග කරනවා කිව්වා. රට තුළ හරියාකාර පාලනයක් ඇති කරන්න ඒ දවස් කිහිපය වැඩ බලන අග්‍රමාත්‍යවරයා හා ජනාධිපතිවරයා විදිහට රට යළි ස්ථාපිත කරමින් තිබුණු වෙලාවක වගකීමක් නැති විපක්ෂ නායකයන් දෙදෙනා හැසිරුණේ එහෙමයි. සම්ප්රදායක් නොතේරෙනකම වෙන්න පුළුවන්. සම්ප්‍රදායට පයින් ගැසීම වෙන්නත් පුළුවන්. රට ඊට වඩා ලොකුයි කියන ඕනෑකම මතයි එවකට ප්‍රේමදාස මැතිතුමා මරා දැමුණ වෙලාවේ බණ්ඩාරනායක මැතිතුමිය වැඩ කළේ.
එවැනි සම්ප්‍රදායන් කිසිවකට ගරු නොකරන දේශපාලකයන් අපේ රට කොයි දිසාවකට ගෙනියයි ද කියන බරපතළ කාරණය ඔබේ බලප්‍රදේශවල සිටින සියලු දෙනාට යළි යළි සිහිපත් කිරීම වටිනවා. අනුර කුමාර දිසානායකට ඡන්ද නැති බව දන්නවා.
මේ දේශපාලන යන්ත්රණයේ ප්රජාතන්ත්රවාදී ස්වභාවයට එල්ල කළ හැකි හැම ප්‍රහාරයක්ම එල්ල කිරීමේ කනගාටුදායක දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තමයි මට පෙනෙන්නේ. ඉන් ඔබ්බට රටේ අනාගතය දෙස බලන්නේ නැහැ. අනාගත පරම්පරාවක් රටේ ජීවත් වෙනවා. ඒ අයට දිය යුතු සුරක්ෂිතභාවය ගැන බලන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයා මහ රෑ තරගයෙන් ඉල්ලා අස්වෙලා ඩලස්ට තරග කරන්න කිව්වා. ඩලස්ට ඡන්දය දුන්නෙත් ප්‍රේමදාස මහත්තයාගේ කට්ටිය. ඒ වගේ රටේ ගැඹුරුතම අවස්ථාවක හැසිරීම නරකම ආදර්ශයක්.
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගේ ගිනි ගන්නවා. ජනාධිපතිතුමා වැඩ කටයුතු කළේ අගමැති කාර්යාලයේ. ලෝක නායකයන්ගේ සහයෝගය ඉල්ලා කතා කළේ අගමැති කාර්යාලයේ ඉඳලා. අගමැති කාර්යාලයේ උඩ තට්ටුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ. මම අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්න වෙලේ මගෙන් ඇහුවා කොහොමද දිනේෂ් ඔයා වැඩ කරන්නේ කියලා. මෙහෙම කරගෙන යන්න බැහැ හවස් වෙනකොට අපි පාලන තන්ත්රය ශක්තිමත් කළ යුතුයි කියලා කිව්වා. රට වැටුණු තැන ගැන මම ඔබට මතක් කරන්නේ ඒ අර්බුදයෙන් පහුවදා ඉඳලා රටේ පාලන තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට ගේන්න පුළුවන් වුණා.
ජනාධිපති කාර්යාලය පැය විසි හතරක් ඇතුළත යළි රාජ්‍ය පාලනය පිහිටවපු තැනක් කළා. තානාපතිවරු ගෝල්ෆේස් පාරේ එහෙට මෙහෙට යනවා. පහුවදා උදේ ජනාධිපති කාර්යාලයේ වැඩ කරන බව තානාපතිවරු හොඳාකාරයෙන් තේරුම් ගත්තා. විදේශ විනිමය නෑ. තෙල් ගේන්න බැහැ. අපේ බැංකු ක්ෂේත්‍ර මොනතරම් ණයවර ලිපි ඇරියත් වෙනත් රටවල බැංකු පිළිගන්නේ නැහැ.
මේ ඔබේ අපේ දරුවන්ගේ අනාගතය විශ්වාසනීය බව තහවුරු කරන මැතිවරණය. පනතක් සම්මත කරන්න බැරි තැනකයි අනුර කුමාර ඉන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම පනතක්, රෙගුලාසියක් සම්මත කරගන්න බැරි කතාවක් අනුර කුමාර දිසානායක කියන්නේ. ජනාධිපති ගන්න තීරණ පාර්ලිමේන්තුව සම්මත කර දිය යුතුයි. එහෙම නැති වුණොත් දවස් තිහකට පස්සේ ඒ තීරණ ඇනහිටිනවා. අනුර කුමාර කැමැති ඇති අර්බුදයකට. අපි කැමැති නැහැ බලයක් නැති කෙනෙක්ගේ අතට රට භාර දෙන්න.
සජිත් ප්‍රේමදාසටත් පනතක් සම්මත කරගන්න තරම් බහුතරයක් පාර්ලිමේන්තුවේ නැහැ. තවමත් ජනාධිපති ධුරයට අතිරේකව පනවන අණපනත් පාර්ලිමේන්තුව ලවා සම්මත කරගන්න පුළුවන්. අර්බුදයෙන් අර්බුදයට රට ගෙනියන්නේ නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාදාමයන් අනුගමනය කරමින් කටයුතු කරන්න අවශ්‍යයි. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස යාපා ජයවර්ධන, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිලරි ප්‍රනාන්දු, ප්‍රවීණ දේශක හේමප්රිය කවිරත්න, දේශවිමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලංසූරිය මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.