අද රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලය

ජාතික ආරක්ෂක කවුන්සිලය අද (19) රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම පවත්වා තිබෙනවා.

මැතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන සහ ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම පිළිබඳ මෙහිදී අවධානය යොමුකර ඇති බව සඳහන්.

එමෙන්ම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.