ශ්‍රී ලංකාව බංකොළොත් බවින් මුදා ගැනීමේ තුන්වැනි කණ්ඩායම වන පෞද්ගලික බැඳුම්කරුවන් සමඟ ගිවිසුමට අද අත්සන් තබනවා
IMF ගිවිසුම වෙනස් කිරීමට ඉඩ දී මෙම සහන අහිමි කර ගන්නවා ද කියා 21 වැනිදා ජනතාව තීරණය කළ යුතුයි
මාතර-ගාල්ල-කළුතර හෝමාගම-මැද කොළඹ අවසන් ජන රැලි අමතමින් ජනපති කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගත් වැඩසටහනට අනුව ඊළඟ වාරිකය සඳහා වූ මුදල් ලබාදීමට තවත් සති දෙකකින් IMF නියෝජිතයන් මෙරටට පැමිණීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. IMF ගිවිසුම වෙනස් කිරීමට ඉඩදී රටට ලැබීමට නියමිත මෙම සහන අහිමි කර ගන්නවා ද කියා සැප්තැම්බර් 21 වැනිදා ජනතාව තීරණය කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා වැස්ස නැති කාලයේ ඉඳලා වැස්ස කාලයේ කුඩයත් අත්හැර පැන දුවන නායකයන් විශ්වාස නොකරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුමට අද අත්සන් තබනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පස්වරුවේ කළුතර මහජන ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ මෙරට ආර්ථිකය වර්ධනය වූ බව අද අනුර කුමාර දිසානායක ද පිළිගෙන ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තමාට රට කිරීමට නොහැකි වුවහොත් වසර එකහමාරකින් එය අතහරින බවට අනුර කුමාර කළ ප්‍රකාශය මඟින් තහවුරු වන්නේ ඔහුට රට ඉදිරියට ගෙන යා නොහැකි බව ඔහු විසින්ම පිළිගැනීම යැයි ද සඳහන් කළේය.
එසේම සජිත්ගේ වැඩපිළිවෙළ ගැන දැන ගැනීමට ඔහුට රූපවාහිනී වැඩසටහනකට ආරාධනා කළ ද ඔහු නොපැමිණි බව පැවසූ ජනාධිපතිවරයා තමන්ගේ වැඩපිළිවෙළ රටට පැවසිය නොහැකි නායකයන්ට රට භාර දී අනාගතය අඳුරු කර නොගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.