ළහිරු උදාරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමට 319යි

ළහිරු උදාරගේ ශතකය සහ නායක පසිඳු සූරියබණ්ඩාරගේ අර්ධ ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකා ‘ඒ’ පිලට එරෙහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 319ක් රැස් කිරීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් බිනෝනිහිදී පැවැත්වෙන මේ තරගයේ පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකා ‘ඒ’ පිල ලකුණු 334ක් රැස් කළ අතර, ඒ අනුව ඔවුන්ට පළමු ඉනිමේදී ලකුණු 15ක වාසියක් අත්වූහ.

ඊයේ සවස තේ පානය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 19ක් රැස් කර සිටියේ ලකුණු 34ක් පෙරමුණ ගනිමිනි.

ලකුණු 134කට කඩුලු 2ක් අහිමිව තිබියදී ශ්‍රී ලංකා පිල ඊයේ දිනය ආරම්භ කළ අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටි ළහිරු උදාර (61) සහ පසිඳු සූරියබණ්ඩාර (43) තෙවැනි කඩුල්ලේ සබඳතාව (77) තවත් ලකුණු 102කින් සවිමත් කර ගත්හ. මුළු ලකුණු 57දී පිටියේ එක් වූ ඔවුන් දෙදෙනා ඒ අනුව ලකුණු 179කින් ගොඩනැඟුණු තෙවැනි කඩුල්ලේ සබඳතාව බිඳවැටුණේ මුළු ලකුණු 236දී උදාර දැවී යෑමෙනි. පන්දු 192කට මුහුණ දුන් ඔහු හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 129ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 129ක් රැස් කළ නීල් බ්‍රෑන්ඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් උදාර දැවී ගියේය. පන්දු 166කින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 92ක් රැස් කර සිටි නායක පසිඳු සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, ඔහු සමඟ අවසන් කඩුලු 7 ලකුණු 47ක් තුළ බිඳවැටීමෙන් ශ්‍රී ලංකා පිලට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.

පසිඳු සමඟ අවසන් පිතිකරුවන් 7 දෙනාගෙන් 6 දෙනකුම දවා ගැනීමට ප්‍රෙනෙලන් සුබ්‍රයින් සමත් විය. ඔහුට අමතරව නීල් බ්‍රෑන්ඩ් කඩුලු 2ක් දවා ගත්තේය.

අද තරගයේ අවසන් දිනයයි.

දකුණු අප්‍රිකා ‘ඒ’ පළමු ඉනිම – 334 (ඕවර 92.1) නීල් බ්‍රෑන්ඩ් 129, ඩෙවල්ඩ් බ්‍රෙවිස් 49, මාර්කස් ඇකර්මන් 37 (සොනාල් දිනූෂ 48/3, ඒෂාන් මාලිංග 68/3, ඉසිත විජේසුන්දර 60/2)

ශ්‍රී ලංක ‘ඒ’ පළමු ඉනිම – 319 (ඕවර 91) ළහිරු උදාර 129, පසිඳු සූරියබණ්ඩාර 92 (ප්‍රෙනෙලන් සුබ්‍රයින් 64/6, නීල් බ්‍රෑන්ඩ් 45/2).