හිඟ වැටුප් ඉල්ලා බංගලි ඇඟලුම් සේවකයෝ අධිවේගී මාර්ගය හරස් කරති

බංග්ලාදේශයේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක සේවක පිරිසක් හිඟ වැටුප් ඉල්ලා එරට ගාසිපූර් නුවර ඩකා – මයිමෙන්සිං අධිවේගී මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. සීසන්ස් ඩ්‍රෙසසස් නමැති එම ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 500කට අධික පිරිසක් අධිවේගී මාර්ගය වසා දමමින් එම විරෝධතාව ආරම්භ කළ බවත්, පසුගිය ජූලි සහ අගෝස්තු මාසවල හිඟ වැටුප් කඩිනමින් ලබා දෙන තුරු අධිවේගී මාර්ගයෙන් ඉවත් නොවන බවට තර්ජනය කරමින් සිටි බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊයේ පෙරවරු 9.30ට පමණ විරෝධතාව ආරම්භ කර ඇති අතර, විරෝධතාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද අවහිර වූ බව වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබූ බවත්, ඊයේ පස්වරුව වන තුරු ගැටලුවට විසඳුම් ලැබී නොතිබූ බවත් බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.