1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළ ආර්ථික පිබිදීමට සමාන ආර්ථික විප්ලවයක් රටේ ඇති කරනවා-ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ 

මීට වසර දෙකහමාරකට පෙර දරුණු ආර්ථික කඩාවැටීමකට පත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා අමාරුවෙන් ගොඩගැනීමට අප ක්‍රියාත්මක කළ ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙනයනවද? නැද්ද? එසේ නොමැතිනම් ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ වැඩපිළිවෙළ සහ වර්තමාන සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වයන් පිළිබඳව මෙරට මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජිතයන් සමඟ කොළඹ ජනාධිපති නිල නිවෙසේ ඊයේ (17) විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

මේ මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාව ගත යුතු තීරණය මෙය යැයි සඳහන් කළ ජනාධිපතිවරයා ළඟා කර ගත් ජයග්‍රහණ තවදුරටත් ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් මැනවින් ඉදිරිපත් කොට ඇත්තේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ අප වැඩපිළිවෙළ තුළින් පමණක් බව පෙන්වා දුන්නේය.

මෙය එම සම්මුඛ සාකච්ඡාවේ දිගහැරුමයි මේ.

ප්‍රශ්නය – ජනාධිපති මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කතිකාවන් කිහිපයක් පැවැත්වෙනවා. ඒවා පිළිබඳව යම් සිහිපත් කිරීමක් කළ හැකිද?

පිළිතුර –

එක වේදිකාවක කියනවා ෆයිල් හාරසීයක් මම ළඟ තිබෙනවා, ඒවායින් අල්ලස් දූෂණ වංචා සිදුකළ අය පිළිබඳව තොරතුරු ඇතුළත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා වෙනවා. ජාතිවාදය, ආගම්වාදය, ජනවාර්ගික ප්‍රශ්නය ගැන කතා වෙනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි කතා කළ යුතුයි. මට කියන්න තියෙන්නෙ ඔය කියන ෆයිල් හාරසීය මම ළඟත් තිබෙනවා. ඉන් නඩු දාලා තියෙන්නේ පහළොවකට පමණයි. අනෙක් ෆයිල් මට පෙන්නන්න පුළුවන්. හැබැයි ඔබ අතට පත් කරන්න බැහැ. අවශ්‍ය නම් ගබඩා කරලා තියෙන තැන පෙන්නන්නම්.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ ජාතිවාදය, ආගම්වාදය හා වෙනත් කිසිම වාදයක් ගැන ප්‍රශ්නයක් නැහැ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු කළත් එවැනි එකක් නැහැ. තිබෙන්නේ, අපි කතා කළ යුත්තේ එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න ගැනයි. මගේ නම් දැක්ම ඒ සම්බන්ධයෙන් එවැන්නක්.

ප්‍රශ්නය – එළඹෙන වසර 2025 සඳහා ජාතික අය වැය සකස් කිරීමේදී ඔබතුමා කටයුතු කරන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා මතද? ඒවායින් පිට පනින්නෙ නැතිද?

පිළිතුර –

මම අය වැය හදන්නේ IMF සමඟ එකඟතා මතයි. ඒවායින් පිට පනින්නෙ නැහැ. IMF එකඟතා අනුව අප අය වැය සකස් කළහොත් වසර 2025දී ආදායම් වියදම් අතර හිඟය බිලියන 1000ක් වෙනවා. එම හිඟය පියවා ගැනීමට අපට විදේශ මූල්‍ය වෙළෙඳපොළෙන් ණය පහසුකම් ලබා ගත හැකියි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5.1%යි. අපට IMF එකඟතා මත දළ දේශීය නිෂ්පාදිතයේ 5%ක් නොඉක්මවන ප්‍රමාණයකින් ණය පහසුකම් ලබාගැනීමට හැකියාව තියෙනවා. නමුත් මාලිමාවේ අයගේ යෝජනා ක්‍රියාත්මක කළහොත් මෙම සීමාවේ රැඳීමට බැහැ.

ප්‍රශ්නය – එය වැඩිදුරටත් ඔබතුමාට පැහැදිලි කළ හැකිද?.

පිළිතුර –

අපි බලමු මාලිමාවේ අයගේ ආර්ථික වැඩපිළිවෙළ. ඒ අයගේ වැඩපිළිවෙළ අනුව ලබන වසරේ අය වැය සකස් කිරීමට යෑමේදී රජයේ ආදායම් සහ වියදම් අතර විශාල පරතරයක් නිර්මාණය වෙනවා. එය බිලියන 4000ක්. අප ආර්ථික විශේෂඥයකු ලවා ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අය වැයක් සකස් කළහොත් කොපමණ ප්‍රමාණයක හිඟයක් මතුවේදැයි ගණන් බැලුවා. එය තමයි බිලියන 4000. මෙය දළ වශයෙන් ගතහොත් දළ දේශීය නිෂ්පාදිතයේ 11.2% ඉක්මවනවා. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවය අනුව මෙපමණ ප්‍රමාණයකින් හිඟයක් පියවා ගැනීමට විදේශ මූල්‍ය වෙළෙඳපොළෙන් පහසුකම් ලබාගැනීමට ඉඩකඩක් නැහැ. ඒ කියන්නෙ අනිවාර්යෙන්ම දැනට ඇති කර ගෙන ඇති එකඟතා කැඩෙනවා. මෙලෙස එකඟතා කැඩුණොත් අනිවාර්යෙන්ම මූල්‍ය වෙළෙඳපොළේ ණය පොලී අනුපාතය 25%ක් වනවා. ආණ්ඩුවට මුදල් එලෙස ගන්න ගියහොත් IMF එකඟතා බිඳීම නිසා එක්සත් ජනපද ඩොලරයට රුපියල් 400ක් 450ක් 500ක් ගෙවන්න වෙනවා. එය විශාල ප්‍රශ්නයක් මතු කරන්නක්.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් දක්වා තිබෙන්නෙ කුමන ආකාරයේ ප්‍රතිචාරයක් ද?

පිළිතුර –

මෙම මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් අතරින් මාලිමාව සහ සජබ තාමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කතා කොට නැහැ. ඔවුන් අරමුදලට දැනුම් දීමක්වත් සිදුකර නැහැ. අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසෑක් මහත්මිය මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කළා. ඇය කියා තිබෙනවා වත්මන් ආණ්ඩුව අත්කර ගත් ප්‍රගතිය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි කියා. ඒ වගේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි කියා. මේ සම්බන්ධයෙන් මාලිමාවත් නිශ්ශබ්දයි. සජබයත් නිශ්ශබ්දයි.

ප්‍රශ්නය – සජබය සහ මාලිමාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව ඇති කර ගත් එකඟතා සහ එම වැඩපිළිවෙළ වාද විවාද කිරීමට කොපමණ ආරාධනා කළත් පැමිණෙන්නෙ නැහැ නේද? ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබතුමාට කිව හැක්කේ කුමක්ද?

පිළිතුර –

ඒ සම්බන්ධයෙන් මා නිතරම මැතිවරණ ප්‍රචාරක රැලි අමතමින් අවස්ථා ගණනාවකදී එම නායකයන් දෙදෙනාටම අභියෝගයක් කළා. පුළුවන් නම් IMF එකඟතා ගැන මා සමඟ විවාදයකට එන ලෙස. තාම පිළිතුරක් නැහැ. වේදිකාවකවත් නිවැරැදිව තමන්ගේ ස්ථාවරය ඔවුන් කියන්නේ නැහැ.

ප්‍රශ්නය – බදු ආදායම් අඩු කිරීම සම්බන්ධයෙන් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ඔබතුමා කියවා තිබෙනවද?

පිළිතුර –

ඔව්. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 103 වැනි පිටුවෙහි සඳහන් වී තිබෙනවා, පුද්ගලයන්ගේ ආදායම් බදු රැස් කිරීමේ සීමාව රුපියල් ලක්ෂ දොළහේ සිට රුපියල් ලක්ෂ විසිහතර දක්වා වැඩි කරනවා, නිෂ්පාදන දිරිගැන්වීම සඳහා බදු සහන ලබා දෙනවා, වැට් බද්දට අදාළව භාණ්ඩ වර්ගීකරණය කොට ඒ අනුව බදු නිදහස් කිරීම් සිදුකරනවා කියා. මෙසේ කියා තිබුණත් අප ඔවුන්ගෙන් විමසා සිටින්නේ එවැනි බදු අඩු කිරීමක් සිදු කළහොත් එය පියවා ගන්නා ආකාරය පැහැදිලි කරන ලෙසයි. මේවාට ඔවුන් පිළිතුරු දෙන්නෙ නැහැ. ඒ අය IMF සමඟ කතා කර නැහැ. එවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමට ගියහොත් නැවත සිදු වන්නේ අපට ආපස්සට යෑමටයි. වසර 2022 මැයි මාසයට යෑමටයි. නැවත අඳුරු යුගයක් එළඹීම ස්ථිරයි.

ප්‍රශ්නය – සමගි ජන බලවේගය බ්ලූ ප්‍රින්ට් ත්‍රී නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදක්වා තිබෙනවා. එහි ආයෝජකයන්ට ලබාදෙන දිරිදීම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර –

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එවැනි දැනුම් දීමක් සිදුකොට නැහැ. සමහර විට වැරදි දුරකතන අංකයකට දීලා තියෙන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මා විමසූ විට එවැනි දෙයක් කීවේ නැහැ.

ප්‍රශ්නය – ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රමවේදයෙන් බැහැර වීමට කිසිවකුට පුළුවන්ද?

පිළිතුර –

ඉන් පිට පනින්නට කිසිවකුට බැහැ. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පමණක් නොව රටවල් 18ක් සමඟ ණය තිරසරභාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයන්ට එළඹ තිබෙනවා. එම එකඟතාවයන් කඩකළහොත් ඔවුන් අප සමඟ සිදු කරන සහයෝගිතා කටයුතුවලින් ඉවත් වෙයි. ඒ සමඟම නැවත වතාවක් ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස කඩාවැටෙයි. ඒ වගේම උද්ධමනය පොලී අනුපාත නොසිතූ ලෙස ඉහළ යයි. නැවත පෝලිම් යුගයක් ඇති වෙයි. එහෙම වුණොත් වැඩිපුර ඩීසල් ටිකක්, පෙට්‍රල් ටිකක්, භූමිතෙල්, ගෑස් ගෙනත් තියාගන්න සිද්ධ වෙයි.

තව සති දෙකකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඔවුන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න විමසා සිටිනවා. එසේ විමසා සිටි අවස්ථාවේ ලබා දෙන පිළිතුර අනුව ඔවුන් සහයෝගය දැක්වීම හෝ ඉන් ඉවත් වීම සිදු කරයි. එවිට අපිට නැවත අඳුරු යුගයකට නොයෑමට වග බලා ගැනීම මැතිවරණයේ ප්‍රතිඵලය මත තීන්දු වනවා.

ප්‍රශ්නය – දූෂිතයන් සම්බන්ධයෙන් සහ වංචා දූෂණවලින් උපයාගත් වත්කම් නැවත අත්කර ගැනීමට විපක්ෂය යෝජනා කොට තිබෙනවා. එය කළ හැකිද?

පිළිතුර –

අල්ලස, දූෂණය, වංචාව තුළින් එක්රැස් කර ගත් ධනය නැවත අත්පත් කර ගැනීම කියන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ සඳහා අවශ්‍ය නීති රීති සකස් කළ යුතුයි. දූෂණ විරෝධී කෙටුම්පත අප සකස් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කළ යුතුයි. ඊට අමතරව තවත් නීති රීති රටට හඳුන්වා දිය යුතුයි. මේ සියලු දේ සිදු නොකොට පවතින නීති රීති තුළින් පමණක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත නොහැකියි. මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකම දූෂණ ඔස්සේ ඉපැයූ වත්කම් නැවත අත්පත් කර ගැනීමට කතා කරනවා. දඬුවම් ලබා දෙන බව කියනවා. නමුත් ඒ දේ ක්ෂණිකව කළ නොහැකියි.

ප්‍රශ්නය – එවැනි වත්කම් ලබාගනිමින් වසර 2025 අය වැය සකස් කිරීමට ඔවුන් පියවර ගන්නා බව කියනවා. එය යථාර්ථවාදී වැඩපිළිවෙළක් ද?

පිළිතුර –

ඔවුන් කියන ආකාරයට විශාල මුදලක් වත්කමක් අත්පත් කර ගැනීමට තාම හඳුනාගෙන නැහැ. එවැනි දෙයක් අත්පත් කර ගැනීමට එකවර බැහැ. විශාල කාලයක් යනවා. පළමුව නඩු පැවරිය යුතුයි. මෙලෙස නඩු පැවරූ අවස්ථාවල තීන්දුවක් ලබා දුන්නත් ඊට එරෙහිව අභියාචනාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යනවා. ඒවායේ නඩුව ඇසීමට වසර පහක්, හයක්, හතක් කාලය ගත වෙනවා. එසේ ගත වූ කාලයෙන් අනතුරුව අපරාධ නීතිය යටතේ නැවත මේවා අත්පත් කර ගැනීමට නඩු පැවරිය යුතුයි. ඒ සඳහා ද තවත් කාලයක් ගත වෙනවා. ඒ අනුව අවුරුදු 10ක් පමණ මේ සඳහා ගත වෙනවා. ඔබ හිතන්න, එවිට වසර 2025, 2026, 2027,2028, 2029 අය වැය හිඟය පියවා ගැනීමට ඔවුන්ට මුදල් ලැබෙන්නේ කෙසේද කියා.

ප්‍රශ්නය – පසුගිය ආණ්ඩුව විදේශ ව්‍යාපෘති කිහිපයක් අතරමඟ නතර කළා. ඉන් රටට අත්වූයේ කුමක්ද?

පිළිතුර –

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජපානය සමඟ ඇති කර ගත් එකඟතා මත පවත්වාගෙන යෑමට තිබූ ව්‍යාපෘතිය (සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය) නතර කළා. ඉන්පසු සල්ලි ආවේ නැහැ. ඒ නිසා රටට විශාල ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ වගේමයි, අප ජාත්‍යන්තරව එකඟතාවයන් පළ කර තිබෙන දේවල් සම්බන්ධයෙන් ඒවා නතර කිරීමට යෑමේදී ගැටලු පැන නඟිනවා. අපි මේ පිළිබඳව තීරණ ගැනීමේදී හොඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. එහිදී චීනය, ඉන්දියාව, ජපානය නැතිනම් වෙනත් රටවල් සහ ආයතන සමඟ පවා කටයුතු කිරීමේදී ඉතා සුපරික්ෂාකාරී විය යුතුයි.

ප්‍රශ්නය – වසර 2025 අය වැය සකස් කිරීමේ මූලික කටයුතු සඳහා අඩිතාලම දමා තිබෙනවා. මෙම වසරේ පටන් ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කෙටි හා මැදිකාලීන ඉලක්ක ඇතුළත් තිරසර ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන අය වැය ලේඛනයක්ද?

පිළිතුර –

ඔව්. මේ වසරේ දෙවැනි කාර්තුව වන විට 4.7%ක ආර්ථික වර්ධනයක් වාර්තා වී තිබෙනවා. ඔබ අප මතක තබාගත යුතු කරුණක් වනුයේ වසර 2022 සිට පිට පිටම කාර්තු හයක් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් ගත්තා. මෙලෙස ඍණ අගයක් ගත් ආර්ථිකයක් තමයි මේ වන විට ධන වීමට පටන් ගෙන තිබෙන්නේ. මේ වසරේ තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය පිළිබඳව දත්ත තාම එළිදක්වා නැහැ. මැතිවරණ සමයක් නිසා සමහර විට වර්ධනය ඉහළ පහළ යෑමට පුළුවන්. නමුත් අපගේ අපේක්ෂාව ලබන වසරේ සිට සෑම වසරකම 5% ඉක්මවන ආර්ථික වර්ධනයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමයි.

ප්‍රශ්නය – ආර්ථික වර්ධනය අපේක්ෂාවෙන් ඔබ ඉදිරියේදී ප්‍රමුඛතාවය දෙන වැඩසටහන් මොනවාද?

පිළිතුර –

අපි අපේ රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂයෙන් දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් දෙගුණ කර ගැනීමට පියවර ගන්නවා. සූර්ය බලය, තොරතුරු තාක්ෂණය, නව ආයෝජන කලාප, ඩිජිටල් ආර්ථිකයක් ඇති කරනවා. විශේෂයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 රටේ ඇති කළ ආර්ථිකයේ පුළුල් පිබිදීමට සමාන ආර්ථික විප්ලවයක් සිදු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කඩිනම් මහවැලි ව්‍යාපාරය, ආයෝජන ප්‍රවර්ධන කලාප, ගම්උදාව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු අමාත්‍යාංශ රැසක එකවර ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ඒවා සඳහා එදා සිටි නායකයින් විශාල වශයෙන් කැපවී වැඩ කළා. ඒ ආකාරයෙන්ම මමත් මේ අවස්ථාවේ අමාත්‍යාංශ දහයක පහළොවක කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ උපන් දිනයයි. එයත් සිහිපත් කිරීම වටිනවා.

ප්‍රශ්නය – වාහන ආනයන සීමා ලිහිල් කිරීමට ලබන වසරේ පෙබරවාරි මාසයේදී සූදානම්. මෙය මෙරට විදේශ නිල සංචිත කෙරෙහි කුමන ආකාරයේ බලපෑමක් සිදුකරයිද?

පිළිතුර –

වාහන ආනයන සීමා ලිහිල් කිරීම සංචිත සම්බන්ධයෙන් විශාල බලපෑමක් නොවන ආකාරයට සිදුකරන්නටයි අදහස් කරන්නේ. ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ අපි ආනයන සීමා භාණ්ඩ 2000කට පමණ පනවා තිබුණා. එය ක්‍රමිකව ලිහිල් කරමින් ඉදිරියට පැමිණ තිබෙන්නේ. සැමදාමත් සීමා පනවමින් සිටීමට බැහැ. අපට ආර්ථිකය ක්‍රියාකාරිත්වයක් ඇති කළ යුතුයි. ජාතික දළ ජාතික නිෂ්පාදිතය වැඩි කළ යුතුයි. මෙහිදී ආනයන සීමා ලිහිල් කිරීම හරහා රජයට තීරුබදු ආදායම වැඩි කර ගැනීමට අවස්ථාව උදා වෙනවා.

ප්‍රශ්නය – රජයේ බදු ආදායම් වැඩි කර ගැනීමට බදු ප්‍රතිශත ඉහළ නොදමා, බදු කාන්දුවීම නවතා දැමීමට නව තාක්ෂණය ආදායම් එක්රැස් කරන ආයතන වෙත ලබාදිය යුතුයි නේද?. ඒ වගේම එහි කටයුතු ඩිජිටල්කරණයකට ලක් කළ යුතුයි නේද?

පිළිතුර-

අනිවාර්යයෙන්ම ඒ දේ සිදුකරමින් සිටිනවා. ආදායම් කාන්දු වීම් වළක්වා ගැනීමට දැනටමත් කටයුතු සිදු කරනවා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රජයේ ආදායම් එක්රැස් කරන ආයතන ප්‍රධානීන් නිලධාරීන් ඇතුළු සියලු දෙනා එකතුව නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟමින් සිටිනවා.

ප්‍රශ්නය – මේ වසරේ රජයේ බදු ආදායම් රැස්කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට හැකි වේද?

පිළිතුර –

ඔව්. එය සපුරා ගැනීමට හැකි බවට එම දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුම් දී තිබෙනවා.

ප්‍රශ්නය – චීනය, ඉන්දියාව, භූ දේශපාලනික වශයෙන් අපගේ මුහුදු තීරයේ කටයුතු පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නේ. මෙය ගැටුමක් නිර්මාණය වීමට පවා ඉඩ තිබෙන්නක් ද?

පිළිතුර –

අපත් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින්නේ. අපේ මුහුදු සීමාවේ ගැටුමක් නැහැ. බල තරගයක් තිබෙනවා. නමුත් ගැටුමක් නැහැ. එවැනි දෙයක් සිදුනොවන තැනට බුද්ධිමත්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා මාලාවක් විපක්ෂය රටට ඉදිරිපත් කොට තිබෙනවා. එය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?

පිළිතුර –

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ විපක්ෂය සඳහන් කරනුයේ ණය තිරසරභාවය ඇති කරලීම පිළිබඳව විශ්ලේෂණයක් සිදුකරන බවයි. එවැනි විශ්ලේෂණයක් සිදුකිරීමට පියවර ගත්තා වුවත් එය අඩු ආදායම්ලාභී රටවල් සම්බන්ධයෙන් වූ කරුණක් වෙනවා. නමුත් අප මේ වනවිට මැදි ආදායම් කාණ්ඩයේ රටක්. මෙහිදී අපට ණය තිරසරභාවය ගැන කතා කළ හැක්කේ වෙළෙඳපොළ ප්‍රවේශයක් සහිත ස්වෛරීත්ව ණය තිරසරභාවයක් සම්බන්ධයෙන් පමණයි. විපක්ෂය කියන්නෙ එකක්. අප සිටින්නෙ තව තැනෙක. එය හරියට බස් එක වරද්දා ගැනීමක් වගෙයි. ගාල්ලට යන්න ඕනෑ කෙනා කෑගල්ල බස් එකට නැගලා ගාල්ල යන්න හදනවා වගේ වැඩක්.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයෙන් අනතුරුව පළමුව පැවැත්වෙන්නේ නවතා දමා ඇති පළාත් පාලන මැතිවරණය ද?

පිළිතුර –

මේ සඳහා තීන්දුවක් ගත හැක්කේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. පළමුව බොහෝදුරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකියි. පළාත් සභා පළාත් පාලන ආයතන මැතිවරණ ඉන්පසුව පවත්වයි.

ප්‍රශ්නය – ඉන්දියානු ආරක්ෂක උපදේශකවරයා පැමිණ ශ්‍රී ලංකාවේ නික්ම ගියා. ඔහු මෙරට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔබට යම් පණිවිඩයක් ලබා දුන්න ද?

පිළිතුර –

ඔහු විශේෂ කරුණක් දැක්වූයේ නැහැ. ඔවුන් බංග්ලාදේශයේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව විමසිලිමත්ව සිටිනවා. ඒ ආකාරයටම අප රටේ පවතින තත්ත්වයන් පිළිබඳව උනන්දුවක් දක්වනවා. ඒ අනුව ඉන්දියාව කටයුතු කරන බව පැහැදිලියි. විශේෂ කරුණක් පණිවිඩයක් ලබා දුන්නෙ නැහැ. ඔහු අපට සුබ පැතුවා.

ප්‍රශ්නය – 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි මාතෘකා මේ දිනවල කතා වෙනවා. එය සම්බන්ධයෙන් ඔබේ අදහස?

පිළිතුර –

මේවා ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වසා ගන්නට භාවිත කරන මාතෘකා. ජනතාවට විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නමුත් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වසා ගැනීමට මේ දේවල් ගැන කතා කරනවා. අප මුලින් බැලිය යුත්තේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්නේ කෙසේ ද යන්නයි. ආර්ථිකය දියුණු කළ විට රටේත් පුද්ගලයන්ගේත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා. ආර්ථිකය දියුණු කිරීම මගේ මූලික පරමාර්ථයයි. ආර්ථිකය දියුණු කළ විට විධායක ජනාධිපති ධුරය ද, මහ ඇමැති ධුරය ද, ඇමැති ධුරයන් දරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ජනතාවට විශාල කතිකාවක් ඇතිවන්නේ නැහැ.

ප්‍රශ්නය – උතුරේ ජනතාවගේ ඡන්දය විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට දෙමළ ජාතික සන්ධානය තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර –

කවුද කියන්නෙ? ඔවුන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බවට කවුද කිව්වේ?

ප්‍රශ්නය – පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වමින් මාවෙයි සේනාධිරාජා මහතා මේ බව කියා තිබ්බා?

පිළිතුර –

උතුරු නැඟෙනහිර බොහෝ මහජන නියෝජිතයන් පිරිසක් සිටින්නේ මට සහයෝගය ලබා දීමටයි. ඔවුන් මට උදව් කරනවා. ඒ ගැන සැකයක් ඇති කර ගන්න එපා.

ප්‍රශ්නය – ඉදිරි පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ වේද?

පිළිතුර –

ඒ පිළිබඳව මට කිසිවක් මේ මොහොතේ කිව නොහැකියි. මොකද ඉදිරි පාර්ලිමේන්තුවට කවුරුන් පැමිණේවිදැයි කවුරුන් නොපැමිණේවේදැයි මට මේ මොහොතේ කිව නොහැකියි.

ප්‍රශ්නය – ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා කවුරුන් විය හැකි ද?

පිළිතුර –

මේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත දිනා ගත් අයයි. ඒ ආකාරයටම ඉදිරි පාර්ලිමේන්තුවේ ද බහුතරයගේ කැමැත්ත දිනා ගන්නා පුද්ගලයා අගමැතිවරයා වෙයි.

ප්‍රශ්නය – තරගකාරී අපේක්ෂකයන් දෙදෙනෙක් සිටිනවා. ඔබට ජයග්‍රහණය පිළිබඳව ස්ථිර ද?

පිළිතුර –

කවුද තරගකාරි අපේක්ෂකයන් දෙදෙනා.

ප්‍රශ්නය – සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සහ මාලිමාවේ අනුර කුමාර දිසානායක මහතා. ඔවුන් ජයග්‍රාහී අපේක්ෂකයන් ලෙස මත ප්‍රකාශ වෙමින් තිබෙනවා?

පිළිතුර –

ඔව්. ඕනෑ අයෙකුට ඕනෑ දෙයක් පළ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අප ලබා දී තිබෙනවා. ඒ අනුව එසේ සිතිය හැකියි. නමුත් සිදුවන්නක් නොවෙයි.

ප්‍රශ්නය‍ – ඔබගේ ජයග්‍රහණය ස්ථිර ද?

පිළිතුර –

ඔව්. ස්ථිරයි. ඒ ගැන සැකයක් නැහැ.

ප්‍රශ්නය – මැතිවරණයෙන් අනතුරුව බලය ලබා ගැනීමේදී ප්ලෑන් බී නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට යම් මතවාදයක් රටේ මතු වී තිබෙනවා. එවැනි දෙයක් සිදුවේද?

පිළිතුර –

මගේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ නිසා ප්ලෑන් බී එකක් අවශ්‍ය වන්නේ නැහැ.