සජිත්ගේ දක්ෂ කණ්ඩායම වී ඇත්තේ මුලින්ම පොහොට්ටුවෙන් පැනපු අයයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

සජිත්ගේ දක්ෂ කණ්ඩායම වී ඇත්තේ

මුලින්ම පොහොට්ටුවෙන් පැනපු අය බව මහාමාර්ග ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වීමෙන් පසුව නැවත පක්ෂය ගොඩනැඟීම සඳහා මහින්ද සුළග සමඟ නව පක්ෂයක් නිර්මාණය කිරීමේ භාරධූර කාර්යය ඉටු කළේ බැසිල් රාජපක්ෂ මහතා බවද ඇමැතිවරයා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේය කඩුවෙල කොරතොට හන්දියේ පැවැති ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් කුමාර මහතා සංවිධානය කළ ජනහමුව අමතමිනි.

තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද පැවසීය.

රටට පිළිගත හැකි නායකයෙක් වශයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දිගටම පොහොට්ටුවේ සභාපති පදවියේ කටයුතු කළා.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු පක්ෂ සමයේ කැබිනට්ටුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලෙස දිගටම වැඩ කළා. විදේශ ණය අර්බුදයෙන් රට ගොඩගත හැකි විදේශ විශේෂඥ ආයතනයක් තෝරාගැනීම සඳහා පත් කළ කැබිනට් අනුකාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේත් එතුමායි. ඒ අනුව ප්‍රංශයේ ලසාඩ්, ක්ලිෆර්ඩ් චාන්ස් වැනි ආයතන තෝරාගැනීමට එතුමා දායක වුණා. අරගලයෙනුත් එතුමාගේ නිවෙස් දේපොළවලට කිසිම හානියක් වුණේ නැහැ.

නමුත් පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයෙක් තෝරාගැනීමේ සටනේ දී එතුමාට ලැබුණු ජාත්‍යන්තර උපදෙස් නිසා හෝ වෙනයම් හේතුවක් නිසා එතුමා විශ්වාස කළේ රට බේරාගැනීම සඳහා අපේ සුහද මිත්‍ර ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති විය යුතු බවයි. ඩලස් අලහප්පෙරුම ජනාධිපති යටතේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති විය යුතු බව මහාචාර්යතුමාගේ නිගමනය වුණා.

අරගලයට කලින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන ආර්ථික උපදේශකයා වුණේ නාලක ගොඩහේවා මහතායි. එතුමා පොදු ජන පෙරමුණේ නිල ආර්ථික න්‍යායාචාර්යවරයායි. පොදු ජන පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙළ විමසීමේ සියලු සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩමුළු සියල්ල මෙහෙය වූයේ ඔහුයි. එනිසාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළේ අධ්‍යයන කොටස හැර ඉතිරි සියල්ල මුළුමනින්ම සකස් කරේ නාලක ගොඩහේවා සහ ජගත් වැල්ලවත්ත විසිනුයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහෝ කොටස් ඇතුළු විශේෂයෙන්ම අධ්‍යාපනය කොටසට මා කොහෙත්ම එකඟ නොවූ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ළමාවංශ මහතාත්, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනවිතා ලියනගේ මහත්මියත් මාගේ නිවෙසට පැමිණ අධ්‍යාපන කොටසට සංශෝධන එකතු කළා.

ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන ඇමැති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ඉතාම ඉහළ සතුටකින් රජකාරි කටයුතු ඇරඹුවා. දැන් ඒ සියලු දෙනාට සජිත් ප්‍රේමදාස මහතා අසාමාන්‍ය වගකීම් ප්‍රමාණයක් පවරා රට ආණ්ඩු කිරීමට දක්ෂ කණ්ඩායමක් තමා සතුව සිටින බව පවසනවා.

දේශපාලන ආරංචි මාර්ග අනුව අපේ මිත්‍රයන්ගේ දක්ෂතා කුසලතා නිසි ඇගයීමකට ලක් කරන්න බැරි වේලාවක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාට විදේශ කටයුතු ඇමැතිකමත්, ඩලස් අලහප්පෙරුම මහතාට අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිකමත්, නාලක ගොඩහේවා මහතාට මුදල් ඇමැතිකමත් ලබා දීමට ප්‍රතිඥා දී තිබෙන බව සජබ අභ්‍යන්තරය දන්නා බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ආකර්ෂණීය පොරොන්දු නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙහි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමැතිවරයෙක් වූ ලක්ෂමන් වසන්ත පෙරේරා, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඉතා හිතවත් දේශපාලනඥයකු වූ සුසන්ත පුංචි නිලමේ මහතාත් තවත් එවැනිම පොදු ජන පෙරමුණේ කිහිප දෙනෙකුත් 18 වැනිදායින් පසුව සජබට එකතු වන බව පවසා තිබෙනවා.

මේ නිසා හිස් පිට්ටනියක් වශයෙන් පැවැති සජබ දේශපාලන පිටියේ පොදු ජන පෙරමුණේ නායක කාරකාදීන් සියල්ල දැන් පිටියට බැස දේශපාලන සෙල්ලම් අරඹා තිබෙනවා. ඒ අතරේ සජබ ප්‍රබලයන් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න වැනි අය ප්‍රේක්ෂකයන් බවට පත්වී තිබෙනවා. මේ තත්ත්වය තුළ රටට නිදහස ලබාගැනීම සඳහා ඩී.එස්. සේනානායක මැතිතුමා පිහිටුවා ගත් අලියා ලකුණ දරන එජාපය සහ පාක්ෂිකයන් රට බේරාගත් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පෙළගැසෙමින් සිටිනවා.

පොහොට්ටුව සජබ හසුරුවන බැවින් සජබ වටා සිටි බුද්ධිමත් විශාල පිරිසක් නිහඬවම ගෑස් සිලින්ඩරයට ඡන්දය පාවිච්ච් කිරිමට පෙළගැසී තිබෙනවා.