ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු නෑ ප්‍රශ්න 37ට සියයෙන් ලකුණු දෙනවා- විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ඔස්සේ සාකච්ඡා කර ඇති බවට වට්ස්ඇප් හා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඇතැම් තොරතුරු මඟින් මහත් ආන්දෝලනයට තුඩුදී ඇති බැවින් එම ප්‍රශ්න, විභාගයට පෙර සැබෑ ලෙසම… අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර තිබේ නම් එම පිළිතුරු ඇගැයීමේදී එම ප්‍රශ්න නොසලා හැරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණට’ පැවසීය.

“අපිට මුලින්ම තොරතුරු ආවේ ප්‍රශ්න 16ක් අනුමාන ප්‍රශ්න ලෙස විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවයි. මේ ගැන අපි යම් මූලික සොයා බැලීමක් කළා. එහිදී පැහැදිලි වුණේ එම ප්‍රශ්න 16න් 03ක් විභාගයට ලබාදුන් ප්‍රශ්න 03ක් හා සැසඳෙන බවයි. එය සියයට 100ක්ම සමානයි කියල මම කියන්නේ නැහැ. මේ ගැන මම ප්‍රශ්න පත්‍ර සකස් කළ පාලක මණ්ඩලය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. විමර්ශන කණ්ඩායමක් ද පත්කළා. එම විමර්ශන කණ්ඩායම මේ වන විට මෙම ප්‍රශ්න සාකච්ඡා කළායැයි කියැවෙන ප්‍රදේශවලට ගිහින් පුළුල් විමර්ශනයක් පවත්වනවා. එම විමර්ශනයේදී පැහැදිලිවම අනාවරණය වන්නේ නම් එම ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍රය දරුවන් අතට ලැබීමට පෙර අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර තිබෙනවා කියල අපි එම ප්‍රශ්න අතහැර ඇගැයීම් කටයුතුවලදී ලකුණු ලබාදීමට පියවර ගන්නවා“ යැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මෙහිදී ප්‍රශ්න 40න් ලකුණු ලබාදීමක් සිදුවන්නේ ප්‍රශ්න 37කට බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය. මේ තුළින් කිසිදු දරුවකුට අසාධාරණයක් සිදු නොවන බවත් ප්‍රශ්න 37ට ලැබෙන ලකුණු සියයට ගළපා ලකුණු ලබාදීමක් සිදුවන බැවින් අදාළ ප්‍රශ්න 03ට කිසිදු ලකුණක් නොලැබෙන බව ද අමිත් ජයසුන්දර මහතා කීය.

මෙතෙක් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර නැති බවත් විභාග දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සිදුවන විමර්ශනයේදී යම් විභාග වංචාවක් සිදුව ඇතැයි තහවුරු වීමක් සිදුවුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.