උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් පමණයි-යාපනයේ හිටපු නගරාධිපතිනිය යෝගේශ්වරී සත්කුණරාසා

උතුරේ දෙමළ දේශපාලන නායකයන් ජනාධිපතිවරණයේදී විවිධ පුද්ගලයන් ජයග්‍රහණය කරවීමට කටයුතු කළත් උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බැවින් ඔහු මෙවර නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව යාපනය මහනගර සභාවේ හිටපු නගරාධිපතිනිය වූ යෝගේශ්වරී සත්කුණරාසා මහත්මිය යාපනයේදී පැවසුවාය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව යළි බලයට පත් කිරීම පිණිස යාපනයේදී ප්‍රචාරක කටයුතු ආරම්භ කොට ඇති හිටපු නගරාධිපතිනිය ඇතුළු පිරිසක් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද ප්‍රකාශ කළාය.

‘රනිල් වික්‍රමසිංහ කියන්නේ එසේ මෙසේ නායකයෙක් නෙමෙයි, ජාත්‍යන්තර සබඳතා මෙන්ම දේශපාලනයේදී අත්දැකීම් සමුදායකින් යුත් පුද්ගලයකුයි. ඔහු කියන දේ සමහර අයට වැටහී යන්නේ ටික කාලයක් ගියාට පසුවයි. ඒකට හේතුව ඔහුගේ දේශපාලනික දූරදර්ශීභාවයයි.

මේක උතුරේ දෙමළ දේශපාලනඥයන් තුළ නැහැ. ඔවුන් හැම විටම බලන්නේ ක්ෂණිකව හැම දෙයක්ම ලැබෙයි කියලයි.

චීනය වගේ රටවල් නියම නායකයන්ව නියමිත කාලවලදී තෝරා ගත් නිසා අද ඒ රටවල් ඉතා දියුණු තත්ත්වයට පත්වෙලා ති‍ෙයනවා. අපේ උතුරේ දෙමළ දේශපාලනඥයන් හැමදාම එකම දේ කියාගෙන ඉන්න නිසා ඔවුන්ට සිද්ධ වුණු යහපතකුත් නෑ. ජනතාවට ඔවුන්ගෙන් සිද්ධ වුණු යහපතකුත් නෑ. ඔවුන් හැමදාම කිව්වේ උතුරු නැඟෙනහිර පළාත් දෙක එකතු කරලා ඔවුන්ට පාලන බලයක් ලබා දෙන්න කියලයි.

දැන් මේ කතාව උතුරේ දෙමළ මිනිස්සුන්ටත් අහල අහලා එපා වෙලා. ඒත් මේ අය හැමදාම ඒ තැටියම වාදනය කරනවා. මේක නිසා දැන්වත් උතුරේ දෙමළ දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් යමක් ඉල්ලා සිටිය යුතු වෙනවා. එසේ නොවන තාක්කල් ඔවුන්ට පැවැත්මක් නෑ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමයි උතුරේ ජනතාවට අහිමි වී ගොස් තිබූ ඉඩම් සියල්ල ආපසු ලබා දීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ. මේ වන විට උතුරේ අධිආරක්ෂිත කලාප තියෙන්නේ රටේ අනෙක් ප්‍රදේශවල වගේ ගුවන්තොටුපොළවල්, වරායන් වැනි ඉතා වැදගත් මරමස්ථාන පිහිටි පළාත්වල විතරයි.

සියලු කෝවිල් නිදහස් කරලා දීලා ජනතාවට දැන් ඒවා වන්දනා කිරීමට අවස්ථාව සලසාදී තිබෙන්නෙත් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාම තමයි. නිදහස් කළ කෝවිල් දැන් සංවර්ධනය කරන්නට පටන් අරන් ති‍ෙයනවා.

උතුරේ සංවර්ධන කටයුතු රාශියකම පෙරමුණ ගත් නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. උතුරේ දෙමළ දේශපාලනඥයන් ටික කළේ උතුර සංවර්ධනය කිරීමට රජයෙන් දුන්න මුදල් ටිකත් ඔහේ නිකන් තියාගෙන ඉඳලා ආපහු රජයට භාර දීම විතරයි. මේ නිසා උතුරේ ජනතාව තේරුම්ගත යුතු වෙනවා මෙහෙ ඉන්න කිසිම දේශපාලනඥයකුට මේ පළාත සංවර්ධනය කරන්නට බැහැ. රජයක් එක්ක එකට එකතු වෙලා මේ පළාත් දියුණු කරන්න ඕනෑ කියලා හිතන්නට පුළුවන් එකම දේශපාලනඥයකු විතරයි උතුරේ ඉන්නේ. ඔහු තමයි ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා. ඔහුත් මෙවර සහාය පළ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි. ඒක නිසා උතුරේ ජනතාවත් මේ ගැන කල්පනා කළ යුතු වෙනවා.

දෙමළ ජනතාව කළ යුත්තේ ඊට හොඳම ගැළපෙන නායකයෙක් රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගෙන තමන්ගේ පළාත සංවර්ධනය කර ගැනීමට උත්සාහ කිරීමයි. මේ සඳහා දැනට සිටින හොඳම සහ එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. මේ නිසා ඔහුට උතුරේ ජනතාව පූර්ණ සහයෝගය පළ කරනවා. ඒ ඔස්සේ ඔහු මේ රටේ යළිත් ජනාධිපතිවරයා බවට පත් වෙනවා.’