ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩිකාවන්ට පළමු ජය

සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සිව්වැනි විස්සයි20 තරගය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් මේ තරගාවලියේ මුල් තරග 3ම ජය ගැනීමට සමත් වීමෙන් බංග්ලාදේශ කාන්තා පිල මේ වන විටත් තරගාවලිය 3-1ක් ලෙස ජය ගෙන තිබෙන අතර, බංග්ලාදේශ පිලට එරෙහිව ශ්‍රී ලංකාව ජයගත් පළමු තරගය මෙයයි.

තර්ස්ටන් පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 125ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිලට ඕවර 19.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 105ක් පමණි.

ශමිමා සුල්තාන් ලකුණු 38ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර, ෂෝර්නා අක්ටර් ලකුණු 28ක් රැස් කළාය. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ සෙසු පිතිකාරිනියන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි වූහ. පන්දු යැවීමේදී චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, දෙව්මි විහංගා සහ නිමේෂා මදුෂානි කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 40ක් තුළ බිඳ වැටුණද නායිකා සත්‍යා සන්දීපනි පන්දු 33කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 46ක් රැස් කරමින් ඉනිම ගොඩනැඟුවාය. ඇයට අනගි සහායක් දුන් පියුමි වත්සලා පන්දු 29කින් ලකුණු 29ක් සහ මල්ෂා ෂෙහානි පන්දු 14කින් නොදැවී ලකුණු 21ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ෆාහිමා ඛාතුන් සහ මරුෆා අක්ටර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

දෙපිල අතර අවසන් සහ පස්වැනි විස්සයි20 තරගය හෙට (19) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම – 124/5 (ඕවර 20) සත්‍යා සංදීපනි නොදැවී 46, පියුමි වත්සලා 29, මල්ෂා ෂෙහානි නොදැවී 21 (ෆාහිමා ඛාතුන් 13/2, මරුෆා අක්ටර් 21/2)

බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම – 105 (ඕවර 19.3) ශමිමා සුල්තාන් 38, ෂෝර්නා අක්ටර් 28 (චේතනා විමුක්ති 15/2, තාරුකා ෂෙහානි 19/2, දෙව්මි විහංගා 21/2, නිමේෂා මදුෂානි 22/2)