කළුතර ගින්නක්

කළුතර උතුර ගාලුපාරේ විදුලි උපකරණ අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ඊයේ (16) පස්වරුවේ ගින්නක් හටගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.
කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ප්‍රධාන ගිනි නිලධාරී අමිල ඉන්දික ඇතුළු නිලධාරීන් ගින්න පාලනය කරමින් සිටින අයුරු දැකගත හැකිවිය.
ගින්නෙන් එහි දේපළවලට හානි සිදුව තිබූ අතර, ගොඩනැඟිල්ල මුළුමනින්ම විනාශවෙමින් පවතින අයුරු දැකගත හැකිවිය.
ජනෙල් වීදුරු කඩා බිඳදමමින් ඇතුළත ගිනි ජාලා නිවීමට ගිනි භටයන් වෙහෙසක් ගනිමින් සිටි අතර, විදුලි සේවකයෝ විදුලි විසන්ධි කරමින් සහාය වූහ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක පළකරයි.
ගින්න හටගෙන ඇති ගොඩනැඟිල්ලට යාබද රාජ්‍ය බැංකුවක් පිහිටා තිබෙන බැවින් යාබද ගොඩනැඟිලිවලට ගින්න පැතිරීම වැළැක්වීමට ගිනි භටයෝ සහ පොලිසිය දැඩි වෙහෙසක් ගත්හ.
කළුතර උතුර පොලිසිය සහ ප්‍රදේශවාසීහු ගිනි භටයින්ට සහාය වූහ.