හොරු අල්ලනවා කියන මන්ත්‍රීවරු ඒ ගැන යෝජනාවක්වත් ගෙනත් නෑ-අපි පනත ගැසට් කරලත් අවසන්

හොරා කෑ දේපොළ පවරා ගන්නා බවට කට කියවන කිසිවකු ඊට ඒ වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හෝ ගෙන ඒමට මෙතෙක් කටයුතු කර නැතැයි අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පැවසුවේය. අයථා ලෙස උපයාගත් ධනය හා දේපොළ නැවත පවරා ගැනීමට අදාළව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ගැසට් කිරීමට රජය කටයුතු කළ බව ද හෙතෙම කීවේය.

කොළඹදී පැවැති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක් වෙමින් ඊයේ (16) ඒ මහතා මේ බව පැවසීය.

එවැනි සිදුවීම් ඇතිනම් මෙම පනත සම්මත වීමෙන් අනතුරුව ඒ පිළිබඳ නෛතික ක්‍රියාමාර්ගවලට යොමු වීමේ අවස්ථාව හිමිවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ මහතා එහිදී මෙසේ ද කීවේය.

රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයෑම සහ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා දූෂණය හා අල්ලසට විරුද්ධව අප කටයුතු කරන්න ඕනෑ. කවුරු හරි දේශපාලනඥයන් කියනවා නම් මම ගිහිල්ලා අල්ලනවා කියලා එහෙම කරන්න බැහැ. රටේ තියෙන නීති පද්ධතිය අනුව තමයි කරන්න වෙන්නේ. 2015 සහ 19 වෙනකම් දේශපාලනඥයන් තීරණය කරන්න බැලුව කාවද අල්ලන්නේ කාවද හිරේ දාන්නේ කියලා. ඒ නඩුවලින් 95%ක් ඔවුන් පරාජයට පත්වුණා. හොඳම දේ තමයි දේශපාලනඥයන් අත නොගසා ඒ ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. ඒ සඳහා නීති ගෙනඒම. 2013 අංක 19 දරන දූෂණ විරෝධී පනත ගෙනාවේ ඒකටයි.

ඒ නිසා තමයි අද සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් හෙළි කරන්නට ඕනෑ. අප එනකොට මොනවද තිබුණේ යනකොට මොනවද තියෙන්නේ කියලා දැන් බලන්න පුළුවන්. කවුරු හරි උපයාගත් තොරතුරු තියාගෙන අදාළ ආයතනවල නොදුන්නොත් ඒකත් ප්‍රශ්නයක්. ඉතාමත් ශක්තිමත් දූෂණ විරෝධී පනතක් අප නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව අපත් කටයුතු කරනවා. කටින් කිව්වට හොරා කාපු දේපොළ පවරා ගැනීමට කවදාවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්වත් ගෙනාවේ නැහැ. පසුගිය සතියේ මම කැබිනට් එකට ඉදිරිපත් කරලා ගැසට් කරලා තියෙනවා. කැබිනට් එකට ඉදිරිපත් කළා දැන් ගැසට් කරලා තියෙනවා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත. ඒ පනතට අදාළ කෙටුම්පත අප ගැසට් කරලා තියෙනවා. ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නීතියක් බවට පත්කර ගැනීමේ හැකියාව අපට තියෙනවා. මේක ඉතාමත් බලවත් පනතක්. අධිකාරියක් පිහිටනවා. අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් හා පොලිසියේ නිලධාරියෙක් නම් කරනවා තොරතුරු ලබාදීම සඳහා. තොරතුරු ලබාදුන්නට පස්සේ ඒවා ආරක්ෂා කරනවා. ඊට පස්සේ කාට විරුද්ධව හරි තොරතුරක් ලැබුණා නම් ඔවුන්ගෙන් දේපොළ අය කරගත් ආකාරය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නවා. වැරැද්දක් තියෙනවා නම් ඒ දිවුරුම් ප්‍රකාශය ඔවුන්ට විරුද්ධව යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. යම් පුද්ගලයකු සොරාගත් මුදල් කිසියම් පුද්ගලයකු තියාගෙන ඉන්න බවට කරුණු තියෙනව නම් ඒ කරුණු අනාවරණය නොකළොත් ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ හා සමානව ජාත්‍යන්තරව හා දේශීයව විවිධ ආයතනත් එක්ක කළමනාකරණය කර ගැනීම සඳහා අධිකාරියක් අප පිහිටවලා තිබෙනවා.

මහා බැංකු පනතෙන් ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. තවදුරටත් මුදල් අච්චු ගහන්න බැහැ. ආර්ථික පරිවර්තන පනත මඟින් එක තැනකින් සියලු නියාමන කිරීම සඳහා අප වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මම හිතනවා ආර්ථිකය සෑහෙන ප්‍රගතියක් අප අරන් තියෙනවා යැයිද හෙතෙම කීවේය.