සේමසිංහගේ ආරක්ෂක සැරයන්ට පුත්තලමේ ASPගෙන් චණ්ඩි පාට්

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු පවුලේ අය සමඟ යමින් සිටි මුදල් අමාත්‍යාංශයට අයත් සුඛෝභෝගී ජීප් රථය හප්පා අනතුරට ලක් කළ සහකාර පොලිස් අධිකාරීවරයා අනතුරින් පසු ඇමැති ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන්වරයාව සිය මෝටර් රථයේ දමාගෙන සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රැගෙන යාම සහ සාපරාදි බලහත්කාරය පෑම යටතේද නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය. අනතුර සිදුකළ සහකාර පොලිස් අධිකාරිවරයා මත්පැන් පානය කර සිටි බවට පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනවලදී සහ පොලිස් අධිකාරීවරයාගේ නියෝග පරිදි සිදු කළ ඇල්කොලයිසර නළ පරීක්ෂාව මඟින් තහවුරු කර ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් පුත්තලම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවකද ගඳ වහනය වන බවට දක්වා අත්සන් යොදා ඇතැයිද මූලස්ථාන පොලිසිය කියයි.

ඉකුත් 14 වැනිදින පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය දුම්රිය හරස් මාර්ගයට මීටර් 400ක් පමණ කොළඹ දෙසට වන්නට මුදල් අමාත්‍යාංශයට අයත් ජීප් රථය ශ්‍රී පුර පදවිය පදිංචි අමාත්‍යවරයාගේ රියදුරු විසින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පවුලේ අයවලුන්ද නංවාගෙන පුත්තලම දෙසට ධාවනය කරමින් සිටිය දී ඉදිරියෙන් එම දිශාවටම ධාවනය කළ සැකකාර සහකාර පොලිස් අධිකාරී ධාවනය කරමින් සිටි පොලිස් දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථය ජීප් රථයේ පිටුපස දොර සහ පිටුපස රෝදයට ඉහළින් මඩකවරයට ඉහළින් ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් කිසිවකු තුවාල ලබා නොමැති අතර වාහන අලාභය පමණක් සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරිවරයා සිවිල් ඇඳුමින් සිට ඇත. මේ නිලධාරියා ගැන ජාතික පොලිස් කොමිසම වෙත දැනුම්දීමටද කටයුතු කර තිබේ. ඒ පොලිස් ස්ථානාධිපතිවරයාගේ සිට ඉහළට නිලධාරීන්ගේ විනය බලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව වන බැවිනි.

අනතුර සිදුකළ සහකාර පොලිස් අධිකාරි පැන්සිස් රොඩ්රිගෝ මහතා තවත් මාස දෙකකින් විශ්‍රාම යාමට නියමිතව සිටින අයෙක් බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වේ.