බංගලි ඇඟලුම් අපනයනය බිඳ වැටීමෙන් ජාත්‍යන්තර ගනුදෙනුකරුවෝ ඉන්දියාව දෙසට හැරෙති-දැනටමත් ඉන්දීය රුපියල් බිලියන 4.50ක ඇණවුම් ලබා දෙති

බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවල මතු වී ඇති සේවක නොසන්සුන්තාව හේතුවෙන් ජාත්‍යන්තර ඇඟලුම් ඉල්ලුම්කරුවන් සිය ඇණවුම් සඳහා ඉන්දියාව වෙත අවධානය යොමු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බාහිර පුද්ගලයන්ගේ පෙළඹවීම මත සේවක සේවිකාවන් වැඩ වර්ජනයකට එක්වී සිටින බවට බංග්ලාදේශයේ ඇඟලුම් ආයතන හිමිකරුවන් චෝදනා කර ඇති අතර, මේ තත්ත්වය මඟ හරවා ගැනීමට අන්තර්වාර රජය මෙතෙක් කිසිදු පියවරක් ගැනීමට අසමත් වී ඇතැයි ඇඟලුම් ආයතන හිමිකරුවන් චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.

පසුගිය දින කිහිපයේ වසා දැමූ බොහෝ ඇඟලුම් ආයතන පසුගියදා යළි විවෘත කළද, දින දෙකකට පසු නැවත වසා දැමීමට සිදුවී ඇති බවත්, මේ අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර ඇඟලුම් ඉල්ලුම්කරුවන් සිය ඇණවුම් සඳහා ඉන්දියාවේ ඇඟලුම් ආයතන සමඟ සාකච්ඡා කිරීමට අවධානය යොමු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බංග්ලාදේශයේ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ උද්ගත වී ඇති අර්බුදය හේතුවෙන් පසුගිය සති දෙක ඇතුළත පමණක් ජාත්‍යන්තර ඇඟලුම් ඉල්ලුම්කරුවන්ගෙන් ඉන්දීය රුපියල් බිලියන 4.50ක අපනයන ඇණවුම් ඉන්දියාවට ලැබී ඇතැයි එරට ‘ඉකොනොමික් ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කළේය.