දකුණු අප්‍රිකාවේදී වැඩ පෙන්වූ ඕෂධ යළි ශ්‍රී ලංකාවට කැඳවයි

චන්දිමාල් කඩුලු රැකීමෙන් ඉවතට: කමිඳුට ඉදිරි පෙළට කැඳවීමක්

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් පිල අද පුහුණුවීම් අරඹයි

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවයි. ඔහු එළැඹෙන නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට එක්කිරීම සඳහා මේ කැඳවීම කර තිබේ.

නිමාවට පත්වූ එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එක්වනු ඇත.

මේ අතර එංගලන්තයේදී කඩුලු රකිමින් සිටියදී පිටකොන්දේ ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ සධීර සමරවික්‍රම කඩුලු රැකීම සඳහා සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. එබැවින් කුසල් හෝ සධීර කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ලෙස අංක 7 ස්ථානයේ පන්දුවට පහරදෙනු ඇතැයි තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවසීය.

පළමු ටෙස්ට් තරගයේදී පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කිරීමට අපේක්ෂා කරන අතර, කමිඳු මෙන්ඩිස් ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස පන්දුවට පහරදෙනු ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක මැන්චෙස්ටර් හා ලෝඩ්ස් ක්‍රීඩාංගණවලදී පැවති ටෙස්ට් තරග දෙකේදී ඉනිම හතරකදී ලකුණු 24ක් පමණක් ලබාගත් හෙයින් ඔහු වෙනුවට මේ දිනවල ලකුණු අතර සිටින ඕෂධ ප්‍රනාන්දු කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම් අතර පළමු නිල නොවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත් අතර, එහිදී ඕෂධ ප්‍රනාන්දු ලකුණු 122ක් හා ලකුණු 80ක් වාර්තා කොට තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ඕෂධ වසර 2019 සිට ටෙස්ට් තරග 21කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ අතර, 2023දී වෙලින්ටන්හි නවසීලන්තය සමඟ තරගයෙන් පසු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කර නැත. ටෙස්ට් ශතකයක් හා අර්ධ ශතක 7ක් එක්කොට ඇති ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 33.06කි.

මේ ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පෙරේදා පස්වරුවේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර අද ගාල්ල ක්‍රීඩාංගණයේ පුහුණුවීම් ආරම්භ කරනු ඇත. අයිසීසී ටෙස්ට් ශූරතාවලියට අයත් මේ ටෙස්ට් තරගාවලිය අනිද්දා (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවන අතර, මේ 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම වෙනුවෙන් එදින තරගයට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කොට ඇත. දෙපිල අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 දා සිට 30 දා දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී හමුවී ඇත්තේ ‍2019 වසරේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවති ටෙස්ට් තරග දෙකේදීය. එහිදී තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත් විය. පසුගිය වසරේ නවසීලන්තයේදී තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස නවසීලන්තය ජය ගත්තේය. මෙතෙක් දෙරට අතර, ටෙස්ට් තරග 39කදී නවසීලන්තය තරග 18ක් ජයගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය වාර්තා කළේය. ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර ඇති අතර, ඔහු ද නවසීලන්ත පිල සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙනු දක්නට ලැබිණි.