සියලු ආගම්වල දහම් පාසල් ගුරුන්ට 2500ක නිල ඇඳුම් දීමනාවක්-රු.5000ක දිරි දීමනාවක් දෙන්නත් කැබිනට් අනුමැතිය

සියලු ආගම්වල දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වර්ෂයේ දී සියලු ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5, 000ක දිරිගැන්වීමේ ගුරු දීමනාව සහ රුපියල් 2, 500ක නිල ඇඳුම් දීමනාව වශයෙන් වාර්ෂිකව රුපියල් 7, 500ක දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

2022 වර්ෂය දක්වා දහම් පාසල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුමක් ලබා දී ඇති අතර, මේ වන විට නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක නොවන බවද හෙතෙම කීවේය.

දහම් පාසල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම් ලබා දීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විඳුර වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමි වූ බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.