මිනීමරු-ප්‍රචණ්ඩ දේශපාලනය මෙරටින් දුරු කළ හැක්කේ ජනාධිපති රනිල්ට පමණයි- ඇමැති බන්දුල ගුණවර්ධන

මිනීමරු ප්‍රචණ්ඩ දේශපාලනය මෙරටින් තුරන් කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වග, ඉහළ මාඹුල ප්‍රදේශයේ ඊයේ (15) පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…..

“අපි පුරා දශක දෙකක් තුනක් යකඩ ගැටෙනා අමිහිරි ශබ්දය, උණ්ඩයේ අමිහිරි සුවඳ, දුක් අඳෝනා, මරළතෝනිය අත් දැකලා තිබෙනවා. මෑත ඉතිහාසයේ උතුරේ සහ දකුණේ ප්‍රචණ්ඩ දේශපාලනය නිසාවෙන් මිල කළ නොහැකි මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

අපි 1989 භීෂණ කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ආපු මන්ත්‍රීවරු. එදා භීෂණ යුගය නිමවීමෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ක්‍රමක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ හොඳින් හැසිරුණා. ඔවුන් කිසි විටෙකත් හිංසනයට පෙලඹුණේ නැහැ. පසුගිය මැතිවරණවලදී පන්සිල් දසසිල් ගත් අය ලෙස හොඳින්ම හැසිරුණා.

නමුත් මේ හැසිරීම රංගනයක් බව ඔප්පු වුණේ 2022 මැයි 09 වෙනිදා ඇතිවුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික අරගලය තුළින්.

ඒ වගේම මේ වන විට ලංකාව බංග්ලාදේශයක් බවට පත් කරන්නට මේ අය කැස කවමින් සිටිනවා. බංග්ලාදේශය ඉතා හොඳින් පාලනය ගෙන ගිය රටක්. නමුත් ලංකාවේ වගේම අරගලකරුවන් නිසා ඔවුන් අද දැඩි ප්‍රපාතයකට වැටිලා. වතුර නැති, ගෑස් නැති, තෙල් නැති, විදුලිය නැති රටක් බවට පත් වෙමින් තිබෙනවා.

විදෙස් ආයෝජකයන් තමන්ගේ කොම්පැනි 251ක් ඉවත් කරගෙන ගිහින් තිබෙනවා. ඒ අනාරක්ෂිත බව ලංකාවටත් උරුමකර දෙන්නට ඕනෑ නම් සැප්තැම්බර් 21 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අයෙක් පත් කර ගත යුතු වෙනවා. මේ රට මේ දක්වා ආරක්ෂිතව වසර දෙකක් තිස්සේ රැගෙන විත් ඔබගේ ආර්ථිකය, රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් සිටින රනිල් වික්‍රමසිංහ මහතාට අනිවාර්යයෙන් මෙවරත් ජන වරම ලබා දිය යුත්තේ ඔබේත් ඔබේ දරුවන්ගේත් අනාගතය තවදුරටත් සුරක්ෂිත කිරීම උදෙසා යැයිද කීවේය.