මාලිමාවට චාන්ස් එකක් දුන්නොත් ජනතාවගේ චාන්ස් එකයි නැති වෙන්නේ-ජනපති යාපනය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි අමතමින් කියයි

‘චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ‘චාන්ස් එක’ ගිලිහී යෑම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ යාපනය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පෙරේදා (14) පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි මාලාව අමතමිනි.

එම රැලි ඇමතූ ජනාධිපතිවරයා මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඔවුන් ඉදිරිපත් කරන අය-වැය මඟින් අයි.එම්.එෆ්. කොන්දේසි සියල්ල කැඩී ගොස් ජනතාවගේ ස්ථිර අනාගතය විනාශ වී යන බව කීය.

මාලිමාවට චාන්ස් එකක් දී අනාගතය නැති කර ගන්නවාද? නැතිනම් රට ශක්තිමත් ස්ථිර අනාගතයකට ගෙන යනවාද? යන කාරණය ජනතාව විසින් තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13) පුත්තලම සහ බේරුවල ප්‍රදේශවලද ජන රැලි පැවැත්විණි.

එම ජන රැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

”ජනාධිපතිවරණයේ අන්තිම සතියට ඇතුළු වී තිබෙනවා. මං රට භාර ගනිද්දී කවුරුවත් හිටියේ නැති වුණත් අද තිස් අටදෙනකු ජනාධිපති ධුරය ගන්න ඉදිරිපත් වී සිටිනවා. එදා එක්කෙනකුටවත් ඔබ විඳින දුක තේරුණේ නෑ. ගෑස් නැති දුක, ආහාර නැති දුක, ඩීසල් නැති දුක, බෙහෙත් නැති දුක, දරුවන්ගේ දුක, පාසල් යන්න බැරි දුක, ඒ එක්කෙනකුටවත් තේරුණේ නෑ. අද ඇවිල්ලා ජනතාව ඇන්දුවාට ඔවුන් එදා හැංගිලා හිටියේ කොහේද? ඇඳ යටද? පැනලා ගියාද? හරි නම් ජනතාව දුකේ සිටියදී අතහැර දමා පලා ගිය සියලු ජනාධිපති අපේක්ෂකයන් පැමිණ පලා යන්නට හේතු කියා ජනතාවගෙන් සමාව ගත යුතුයි. මේ රටේ ජනතාව අතහැර ගිය නායකයන්ගෙන් තිබෙන ප්‍රයෝජනය මොකක්ද? අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. අමාරු තීරණ ගත්තා. රටේ ණය බර දරා ගන්න බැරි නිසා ණය ගන්න එපා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා. මුදල් අච්චු ගහන්න එපා කිව්වා. බැංකුවෙන් ණය ගන්න එපා කිව්වා. කෙසේ හෝ අප රුපියල ශක්තිමත් කළා. පළමුවෙන්ම අප වියදම් කප්පාදු කළා. අමාරුවෙන් හෝ බදු වැඩි කිරීමේ තීරණය ගත්තා.

බදුවලට සරිලන පරිදි ආදායම වැඩි වුණේ නැහැ. ඇතැම් විට මට කුණුහරුපෙන් පවා බැන්නා. අපේ ආදායම වැඩි වුණාම රුපියල ශක්තිමත් වුණා. ජනතාව විඳින දුක මම දන්නවා. මේ ලේසි පහසු කාලයක් නොවේ. එහෙත් අපට තියෙන බර ටිකෙන් ටික සැහැල්ලු කරනවා. පළමුවෙන්ම සමෘද්ධිය වගේ තුන් ගුණයක අස්වැසුම දුන්නා. රජයේ සේවකයන්ගේ දීමනා වැඩි කර තිබෙනවා. පොහොර සහනාධාරය ලබා දී තිබෙනවා. විශ්‍රාම වැටුප් වැඩි කර තිබෙනවා. වැඩිහිටියන් සඳහා සහන ලබාදී තිබෙනවා. ”

මෙහිදී මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, තොරතුරු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, හිටපු අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරළ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, කෑගල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ, සන්දිත් සමරසිංහ යන මහත්ම මහත්මීහු මෙහිදී කතා කළහ.

මහා සංඝරත්නය අන්‍යාගමික පූජකතුමාලා ඇතුළු අති විශාල පිරිසක් මෙම ජන රැලිවලට සහභාගිව සිටියහ.