ආර්ථික අර්බුදය මැද විදෙස් ආයෝජකයෝ පාකිස්තානය හැර යති

වර්තමානයේ පාකිස්තානයේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය උපායමාර්ගික සැලසුම්කරණයට සහ ආර්ථික ආයෝජනයට තවදුරටත් පාකිස්තාන රජය වෙතින් කිසිදු සැලසුමක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විදේශීය ව්‍යාපාරික ප්‍රජාව රජය කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සාමාන්‍යයෙන් විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් යම්කිසි රටක සිදු කරන ව්‍යාපාරික ගනුදෙනුව වසර 15-20 අතර දිගු කාලීන සැලසුමක් මත සිදුවන බවත්, එවැනි දිගු කාලීන ව්‍යාපාර සැලසුමක් පාකිස්තාන රජයට නොමැතිවීමෙන් තත්ත්වය බරපතළ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මාසයේ පළමු දින 23 ඇතුළත පමණක් විදේශීය ආයෝජකයන් පාකිස්තානයේ ගිවිසුම්වලින් ඉවත්වී ඇතැයි ද , එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන මහ බැංකුවේ දත්ත සංඛ්‍යා ලේඛනවලට අනුව විදෙස් ආයෝජකයන් ඩොලර් මිලියන 103.5ක එරට භාණ්ඩගාර බිල්පත් ඉවත් කරගෙන ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට නොලැබීම සහ රටේ වර්තමානයේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් එය සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.