පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා වන ආයෝජන සහ පහසුකම් වෙනුවෙන් එළඹුණු ගිවිසුම

මෙරට පිලිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණය සිදුකරනු ලබන පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍ය FDG නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඇක්සක් ජාත්‍යන්තර සමාගම සමග ගිවිසුමකට එළඹ තිබෙනවා.

මේ හරහා මෙරට රජයේ රෝහල්වල සතියකට වරක් භාවිතා කරන පෙට් ස්කෑනර් වල භාවිතය වැඩිවනු ඇති බව සඳහන්.

දැනට ඇති පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය වන FDG ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන්නේ සතියකට වරක් වන අතර එම ආනයනික FDG වලින්ද 97% ක් ආනයන ක්‍රියාවලියේ දී අපතේ යාම හේතුවෙන් රෝගීන්ට වැයවන මුදල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් රජයේ රෝහල්වල පෙට් ස්කෑනර් ක්‍රියාවලිය සීමා වී තිබුණා.

පෞද්ගලික රෝහලක මෙම පෙට් ස්කෑනර් පහසුකම වෙනුවෙන් රුපියල් දෙලක්ෂ 85,000ක් පමණ වැයවන නමුත් ඉන්දියාවේ මෙය රු.40,000ක පමණ අඩු මුදලක් වැය වන බව සඳහන්.

ඊයේ අත්සන් තැබූ ගිවිසුම් හරහා පෙට් ස්කෑන් පරීක්ෂණයක් වෙනුවෙන් වැයවන මුදල රජයේ සහ පෞද්ගලික රෝහල්වල අඩුවීම සහ ස්කෑන් පරීක්ෂණය ප්‍රමාණය වැඩිකිරීමට හැකියාව ලැබෙනු ඇති.