බංගලි අන්ත­ර්වාර රජයේ ප්‍රධා­නියා කම්කරු නීතිය උල්ලං­ඝ­නය කර සිර දඬු­වම් විඳි අයෙක්

දුප්ප­තාගේ බැංකු­කරු ලෙස කලක් බංග්ලා­දේ­ශයේ කීර්ති­යට පත්ව සිටි වත්මන් අන්ත­ර්වාර රජයේ ප්‍රධාන උප­දේ­ශක 84 හැවි­රිදි මහා­චාර්ය මොහො­මඩ් යූනුස් එරට කම්කරු නීතිය උල්ලං­ඝ­නය කිරීමේ චෝද­නා­ව­කට වර­ද­කරු වී මාස 6ක සිර දඬු­වම් විඳි පුද්ග­ල­යකු බවත්, හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසී­නාට එරෙ­හිව අප­රාධ චෝදනා යටතේ නඩු පැවැ­රි­මට ඔහු තීර­ණය කර ඇත්තේ පෞද්ග­ලික වෛරය පිරි­මසා ගැනී­මට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලා­දේ­ශයේ දිළිඳු ජන­තා­වට ක්ෂුද්‍ර ණය පහ­සු­කම් සැල­සී­මට ඔහු විසින් ආරම්භ කරනු ලැබූ ග්‍රාමීන් බැංකු පද්ධ­තිය ජාත්‍ය­න්තර පිළි­ගැ­නී­මට ලක්වී­මෙන් වසර 2006දී නොබෙල් ත්‍යාග­යට ද හිමි­කම් කී අතර, ඔහුට එරෙ­හිව එරට කම්කරු නීතිය යටතේ නඩු පවරා ඇත්තේ ග්‍රාමීන් බැංකු පද්ධ­තියේ සේව­ක­යන්ට අර්ථ සාධක අර­මු­දල් පිහි­ටු­වී­මට අස­ම­ත්විම හේතු­වෙනි. ඒ සඳහා පැමි­ණිලි ගොනු කරනු ලැබුවේ එම බැංකු පද්ධ­තියේ නිල­ධා­රින් තිදෙ­නකු විසිනි.

මාස 6ක සිර දඬු­වම් කාල­සී­මාව නිමා­වි­මෙන් පසු ප්‍රංශයේ පදිං­චි­යට ගිය මහා­චා­ර්ය­ව­රයා ශෙයික් හසී­නාගේ රජය බිඳ වැටී­මෙන් පසු යළි ගෙන්වා රටේ පාල­නය භාර දීමට එරට ශිෂ්‍ය ව්‍යාපා­රය පිය­වර ගෙන තිබිණි.

කම්කරු නීතිය උල්ලං­ඝ­නය කිරී­මට අම­ත­රව මහා­චා­ර්ය­ව­ර­යාට එරෙ­හිව මුදල් විශු­ද්ධි­ක­රණ පනත යටතේ සහ තවත් සැක සහිත ගනු­දෙනු සම්බ­න්ධව චෝදනා යටතේ නඩු 100කට ආසන්න සංඛ්‍යා­වක් පවරා තිබූ බවත්, ඔහු අන්ත­ර්වාර රජයේ ප්‍රධා­නියා ලෙස පත්වී­මෙන් පසු කිසිදු අධි­ක­රණ සමා­ලෝ­ච­න­ය­කින් තොරව ඔහුට එරෙ­හිව තිබූ සියලු නඩු ඉවත් කිරී­මට පිය­වර ගෙන ඇතැයි ද වාර්තා වේ.