ජනපතිවරණයට බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුළු වැසේ

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

මෙම 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය බලපත්‍ර කවුලු වසා තැබෙන 20 වැනිදා වන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු එම කවුලු විවෘත කරන පළමු දිනයේ දීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.