ගුවන්තොටුපොළ ආශ්‍රිතව විදත් වීසා ලබාදීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) නියෝග කළේය. කෙටුම්පත් කළ එම චෝදනා පත්‍රය ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරිණ.
අදාළ වීසා ක්‍රමවේදය අභියෝගයට ලක් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් මෝසමක් මඟින් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කරන ලදි. හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන අය මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම් සම්බන්ධයෙන් පෙත්සම්කාර මන්ත්‍රීවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඉකුත් අගෝස්තු මස 02 වැනිදා අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. ඊට පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කිරීම පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය එදින අතුරු නියෝගයක් නිකුත් කළේය. ආගමන හා විගමන පාලකවරයා ඉදිරිපත් කළ මෝසමක් අනුව මෙම පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය කරුණු ඉදිරිපත් කළාය.
ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ආගමන හා විගමන පාලකවරයා සිය මෝසමෙහි සඳහන් කර ඇති බව ඇය සඳහන් කළාය. ජාතික ආර්ථිකය හා සම්බන්ධ කරුණක් වන මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීමට ආගමන විගමන පාලකවරයාට නොහැකි බවට විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එහිදී සඳහන් කළේය.
මෙහිදී සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් බවත් එය වගඋත්තරකරු අමතක නොකළ යුතු බවත්ය. එම නියෝගය අනුව කටයුතු කිරීම ආගමන හා විගමන පාලකවරයාගේ වගකීම බව විනිසුරුවරයා සඳහන් කළේය. පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී සඳහන් කළේ මොබිටෙල් ආයතනය මෙම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු කිරීමට සූදානම් යැයි ලිඛිතව දැනුම් දී තිබුණද ආගමන හා විගමන පාලකවරයා ඊට අනුකූලව කටයුතු කර නොමැති බවය. කලින් පැවැති ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මොබිටෙල් ආයතනය එකඟතාවය පළ කළ ද ආගමන හා විගමන පාලකවරයා ඊට අනුමැතිය දී නැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
අධිකරණය විසින් නිකුත් කළ මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම මඟින් වගඋත්තරකරු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවය. ඒ අනුව ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා එහිදී සඳහන් කළේ මෙම අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි අගතියක් සිදු වූ බවය. ආගමන හා විගමන පාලකවරයා හිතාමතාම මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවට ඔහු චෝදනා කළේය.
අධිකරණයට අපහාස කිරීම යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නියෝගය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති වී ඇති බවය. සංචාරකයින් මෙරටට පැමිණීම අධෛර්යමත් කිරීමට එය හේතු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ක්‍රියාත්මක කළ මෙම වැඩපිළිවෙළ නිසා බිලියන 3.8ක් අයුතු ලෙස උපයාගෙන ඇති බවත් මෙවැනි අයුතු ක්‍රියා නිසා ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට දැඩි කැලලක් සිදුවන බවත් සඳහන් කර සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මේ පිළිබඳව කරුණු විමසීම සඳහා ආගමන හා විගමන පාලකවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කළේය. ඔහු විදේශගත වී සිටින බව පසුව අනාවරණය විය. ඒ වෙනුවට වැඩබලන ආගමන හා විගමන පාලකවරිය සහ එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලක ඉන්දික හේරත් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලක ඉන්දික හේරත් මහතා එහිදී සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබා දුන්නේය. මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් තමා දැනුවත්ව සිටියද එය ක්‍රියාත්මක කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාගෙන් උපදෙස් නොලැබුණු බව ඔහු සඳහන් කළේය.
එම හේතුව නිසා කලින් පැවැති ආකාරයට විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට නොහැකි වූ බව ඔහු කියා සිටියේය. එම සාක්ෂි විමසීමෙන් අනතුරුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට එරෙහිව පියවර ගැනීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය. අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය, විද්‍යුත් වීසා සේවාව ලබා ගැනීම සඳහා නම් කර ඇති විදේශීය සමාගම් සහ නීතිපතිවරයා මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති. මෙරට අන්තර්ජාතික ගුවන්තොටුපළවල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ මෙතෙක් පැවති සේවාව මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.
මේ නිසා වීසා ගාස්තු විශාල ලෙස ඉහළ යන අතර මෙරටට ලැබෙන ආදායම වෙනත් පාර්ශ්වවලට යැවීමක් එමඟින් සිදු වන බවට පෙත්සම් මඟින් පෙන්වා දී ඇත. මෙම විද්‍යුත් වීසා ලබා දී සේවාව විදේශීය සමාගම්වලට ලබා දීම හේතුවෙන් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු වෙනත් පාර්ශ්වයකට අනාවරණය වීමේ අවදානමක් ඇති බැවින් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.