විදෙස් ගමන් බලපත්‍රය උසාවියට භාරදීමෙන් පසු කෙහෙළිය ගෙදර යයි

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට පෙර විදේශ ගමන් බලපත්‍රය මාලිගාකන්ද උසාවියට භාර දී ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (12) නියෝග කළේය. එම ක්‍රියාදාමය සම්පූර්ණ වීමෙන් පසු පස්වරු 4.00ට පමණ දමිත්‍රී රඹුක්වැල්ල මහත්මිය විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවෙසට කැඳවාගෙන ගියාය.

බාල බෙහෙත් නඩුවට ඇප නියම වීමෙන් පසු මුදාහැරීමට පෙර රිමාන්ඩ් බන්ධනාගාරය මඟින් දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ විත්තිකරු කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු දෙකක් විභාග වේ. එම නඩුවලට විත්තිකරුට ඇප 2022 වසරේ සැප්තැම්බර් 28 වැනිදා ඇප නියමව තිබේ. ඇප නියම කරන අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා චුදිතගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙස නියම කර ඇත. විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහල අවස්ථාවක බාල බෙහෙත් නඩුවට විත්තිකරුවකු කිරීමෙන් පසු මාලිගාකන්ද අධිකරණය මඟින් කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේය. විත්තිකරුට එම උසාවිය මඟින් ඇප නියම කළ අවස්ථාවේ විදේශ ගමන් බලපත්‍රය මාලිගාකන්ද උසාවිය භාරයට ගෙන තිබේ.

2015 ජනාධිපතිවරණය පැවැති සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් 9,90,000ක මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිල දී ගැනීමෙන් රජයට පාඩු සිදු කිරීමේ වරදට සහ ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනා යටතේ මෙම නඩු ගොනු කර ඇත.

මෙයට පෙර මෙම නඩු විභාග කළ අවස්ථාවේ සෞඛ්‍ය හේතු මත විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොකරන ලදි. විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු නවරත්න බණ්ඩාර මහතා එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය. එම නඩුව ඉදිරි දිනයක කැඳවීමට නියමිතව තිබියදී ඇප නියමවූ විත්තිකරු මෝසමක් මඟින් ඊයේ (12) අධිකරණය ඉදිරිපත් කළේය. විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමට පත් වන බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා එම වාර්තා ඔක්තෝබර් 3 වැනිදා ඉදිරිපත් කරන ලෙස නියම කළේය.