21 තීන්දුවට තරුණ ඡන්ද බලපාන හැටි

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් අවධානයට ලක්විය යුතු එහෙත් ඉතා අඩු අවධානයක් යොමු වී ඇති කරුණක් ලෙස මැතිවරණයක් තුළ තරුණ ඡන්ද දායකයන්ගේ ආකල්පය සකස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම කාලින වශයෙන් වැදගත් වේ යැයි සිතමි. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 18 කි. වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, මැතිවරණයට ඡන්දය දීමට සුදුසුකම් ලබයි. ඒ අතරින් 2024 වන විට දේශපාලන පක්‍ෂපාතීත්වයක් නොමැති පාවෙන ඡන්දදායකයින් මිලියන 3.2 සිට 5 දක්වා විය හැකි වන බවට සංඛ්‍යාදත්ත ඉදිරිපත් වී ඇති අතර ඒවා අපක්‍ෂපාති තරුණ ඡන්ද වේ.

ඕනෑම මැතිවරණයකදී එකී තරුණ ඡන්ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි.එම නිසා සමස්තයක් වශයෙන් තරුණයින් විසින් සිය ඡන්දය භාවිත කිරිමේදී වඩාත් සැලකිලිමත් හා විමසිලිමත් විය යුතුයි. එහිදී තරුණයින් විසින් මැතිවරණ ක්‍රියාවලිය, ඡන්ද අපේක්‍ෂකයින් හා ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුඑල් අවබෝධයක් ලබා ගත යුතු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත් වී ඇත.ජනප්‍රිය දේශපාලන සංස්කෘතියෙන් ඔබ්බට යමින් සක්‍රීය පුරවැසියකුගේ අයිතිවාසිකම් දිනාගැනීමට ලැබෙන හොඳම අවස්ථාව ලංකා දේශපාලන ඉතිහාසය පුරාම අවභාවිත වී ඇති ආකාරයෙහි කැඩපත වන්නේ වත්මන් තරුණයින්ගේ පවතින පසුගාමී චින්තන රටාවයි. රටක් වශයෙන් යහපත් ඉදිරි අනාගතයක් වෙනුවෙන් ප්‍රතිනිර්මාණය වීමට නම් තරුණ ඡන්නදායකයා සමාජ චිත්තවේගීමය වශයෙන් මෙන්ම ආකල්පය වශයෙන් ද පරිවර්තනයට භාජනය විය යුතුය. එහිදී මැතිවරණයක් තුළ සිය භූමිකාව පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු අතර ඡන්දදායකයකු ලෙස සිය වගකීම පිළිබඳ වගවීම සම්බන්ධයෙන් ද අවබෝධයක් ලබා ගැනිමට උත්සුක විය යුතුය.එහීදි ආවේගශිලි හා ආක්‍රමණශීලි වීමෙන් ඔබබ්ට යමින් දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයින් විසින් ඉදිරිපත් කරනු ලබන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුවන අතර ඒවා පරිශිලනය කරමින් සිය දේශපාලන මතවාදය වඩාත් විචක්ෂණශිලිව භාවිතයට ගැනීම වැදගත් වේ.

ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ආචාර්ය චමිලා සිරි­ව­ර්ධන
දර්ශන අධ්‍ය­යන අංශය,
කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය

ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ආචාර්ය චමිලා සිරි­ව­ර්ධන දර්ශන අධ්‍ය­යන අංශය, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය

කෙසේ වෙතත් පසුගාමී ආර්ථික, සමාජ, දේශපාලන ක්‍රමයක් භුක්ති විදින ශ්‍රී ලංකාව තුළ මැතිවරණයක් ඉතා තීරණාත්මක වන්නේ එය රටේ අනාගතය හා එහි දිශානතිය පිළිබඳ හැරවුම් ලක්‍ෂයක් වන බැවිනි. ඡන්ද අපේක්ෂකයින් විසින් විවිධ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් ණය, උද්ධමනය, විදේශ ආයෝජන සහ රැකියා උත්පාදනය හැසිරවීමට සැලසුම් කරන ආකාරය පිළිබඳව තරුණ ඡන්දදායකයින් දැනුවත් විය යුතුය.ඒ සඳහා තරුණ ඡන්දදායකයින් විසින් ඔවුන්ගේ අනාගත ආර්ථික අවස්ථාවන් නිර්මාණය කරනු ලබන ආකාරය හා ඒවා සිය අනාගත අභිවෘද්ධිය සඳහා බලපාන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලිව හා නිරවුල්ව ප්‍රකා ශ වන ප්‍රතිපත්ති සන්සන්දනාත්මකව විමර්ශන කර ඒ අනුව සිය මැතිවරණ සහභාගීත්වය හා ආකල්පය සකස් කර ගත යුතුයි. එමෙන්ම තරුණයින් විසින් සිය ඡන්දය සක්‍රීය පුරවැසියකු ලෙස භාවිත කිරිමේදී හුදු දේශපාලන පක්‍ෂ දිනවීම සඳහා නොව තමන්ගේ සහ රටේ අනාගත අභිවෘද්ධිය පිළිබඳ සිතා බැලීම ඉතා වැදගත් වේ.

තරුණ ඡන්ද දායකයා විසින් හුදු දේශපාලන පෞරුෂයන් පිළිබඳව පමණක් නොව ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයෙන් සිය ඡන්දය භාවිත කළ යුතු වීම ඉතා වැදගත් කරුණකි. තරුණ ඡන්දදායකයින් පෞද්ගලිකත්වයට හෝ චිත්තවේගීය ආකර්ෂණයට හසු නොවී අපේක්ෂකයින් සහ පක්ෂ ඉදිරිපත් කරනු ලබන අධ්‍යාපන, රැකියා, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සෞඛ්‍ය සේවා හා සුභසාධන අවස්ථා වැනි තීරණාත්මක ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය දීම හා කෙටිකාලීන, මධ්‍යකාලින හා දිර්ඝකාලීන සංවර්ධන ඉලක්ක පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති ආකාරය පිළිබද අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පමණක් නොව සමස්ත රටේම තරුණ ප්‍රජාව සක්‍රීය දේශපාලනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශ ඔස්සේ දායකත්වයක් ලබා දීම ඉතා වැදගත් වේ. අන්ධානුකරණයෙන් ඔබබ්ට යමින් තාර්කික හා බුද්ධිමය චින්තයක් ඔස්සේ සිය දේශපාලන ආකල්පයන් මෙහෙය වීමෙන් තරුණයාට තමන්ට හිමි තමන්ගේ අනාගතය රට තුළ නිර්මාණය කර ගැනිමේ හැකියාව ද පවතින බව ඔවුන් විසින් අවබෝධ කරලමින් මැතිවරණ සදහා දායකත්වය ලබා දිය යුතු බව ද අවධාරණය කරමි. එහිදී විශේෂයෙන් ඡන්දදායකයා ආකර්ෂණය කරගැනීම සඳහා වශීකරණත්මක මැතිවරණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැරදි තොරතුරු පහසුවෙන් පැතිර යා හැකි බැවින් ඡන්දදායකයින් වඩාත් විශ්වසනීය තොරතුරු මූලාශ්‍ර සෙවිය යුතු වීම කාලීන වැදගත්කමක් දරයි. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා ආර්ථික වර්ධනය සහ දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත් අතර තරුණ ඡන්දදායකයින් ආර්ථික ප්‍රකෘතිය, රැකියා උත්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යථාර්ථවාදී සහ තිරසාර සැලසුම් සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව සිය ඡන්දය භාවිත කළ යුතු වේ.

එමෙන්ම සාධාරණ සහ යුක්තිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ගරු කරන සහ විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතු නායකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් තරුණ ඡන්දායකයින්ගේ අවධානය විශේෂයෙන් යොමු විය යුතු වේ. නිදහස, අයිතිවාසිකම්, නීතිය, යුක්තිය, සාධාරණත්වය යන ප්‍රජාතන්ත්‍රවාදී මෙවලම් සබම්න්ධයෙන් මෙන්ම සදාචාරය, ආචාරධර්ම හා සංස්කෘතිය යනාදී සමාජ වටිනාකම් හා අගයකිරිම් සම්බන්ධයෙන් ද තරුණ ඡන්දදායක ආකල්පය තවදුරටත් වැඩි වර්ධනය විය යුතුයි. ශ්‍රී ලංකාව යනු බහුවාර්ගික රටක් වන බැවින් එකී විවිධත්වය අගය කරමින් සමාජ එකමුතුබව, සංහිඳියාව හා සමගිය ප්‍රවර්ධනය කිරිම සදහා වන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවබෝධය ලබා ගැනීම තවත් අවධානයට ලක්විය යුතු සුවිශේෂි කාරණයකි. රට තුළ වාර්ගික හෝ ජාතිවාදී හෝ ආගමික බෙදීම සඳහා අභිප්‍රේරණ සපයන ප්‍රතිපත්ති රටේ ස්ථාවරත්වයට සෘණාත්මකව බලපෑ හැකි බව තරුණ ඡන්දදායකයා විසින් මනාව අවබෝධ කරගත යුතු වන අතර එහිදී සැමට සමාන ඉඩ ප්‍රස්ථා නිර්මාණය කරනු ලබන ප්‍රතිපත්ති පිළිබඳ සවිඥානික විය යුතු විම ද වැදගත් වේ.

තවද ශ්‍රී ලංකා දේශපාලනය තුළ වර්තමානයේ මුදල් නාස්තිය, රාජ්‍ය මුල්‍ය අවභාවිතය, අල්ලස හා දූෂණය ඇතුළු ප්‍රධාන ගැටලු රාශියක් පවතින බව හදුනාගනිමින් එවැනි දූෂිත ක්‍රියාවන් පිටුදැකීමට සහ යහපත් විගණනයක් සහිත පාලන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමට කැපවූ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයෙන් ගොඩනගාගතයුතු ආකල්පයන් තරුණ ඡන්දදායකයින් තුළ වැඩි වර්ධනය විය යුතුයි.

එහිදී රටේ උත්තරීතර නීතිය, අධිකරණයේ ස්වාධීනත්වය, නිතීය ඉදිරියේ සමානාත්මතාවය යන කරුණු පිළිබඳ ද සුවිශේෂි අවධානයක් හා අවබෝධයක් ලබා ගැනීම ද තරුණ ඡන්දදායකයින්ගේ වගකීමකි. හුදෙක් ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් නොව ඉන් ඔබබ්ට යමින් මැතිවරණයෙන් පසුව, නායකයින් වගවීම, ප්‍රජා සංවර්ධනය සහ යහපත් හා දූෂිත නොවු පාලන ක්‍රමයක් අඛණ්ඩව පවත්වාගෙන යමින් ක්‍රමිකව සංවර්ධන ඉලක්ක කරා මෙහෙයවනු ලබන සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතිකමය වශයෙන් සක්‍රීය දායකත්වයක් සපයමින් දියුණු ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදය තුළ සක්‍රීය පුරවැසියකු ලෙස ක්‍රියාත්මක වීම සඳහා වන ආකල්පයන් පෞද්ගලිකව හා සමාජීය වශයෙන් වර්ධනය කිරිමට උත්සාහ ගැනීම තරුණයින්ගේ යුතුකමක් සහ වගකීමක් වේ.

තරුණයින් විසින් ඇබ්බැහියක් බවට පත් කරගනිමින් සිටින පටු සමාජ මාධ්‍ය භාවිතයන්ගෙන් ඔබ්බ්ට යමින් නූතන තාක්ෂණික ලෝකය තුළ ගෝලිය ජාලගතකරණය සඳහා රටේ තාක්ෂණික යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂකයින් විසින් ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැඩි අවධායක් යොමු කළ යුතුය. ඒ සඳහා අන්තර්ජාලය ප්‍රවේශය පුළුල් කිරීම, ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වේ. තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ ඩිජිටල් සේවා වැනි අංශවල ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට නොගත් විභවයන් ඇත.රැකියා උත්පාදනය සහ ජාතික සංවර්ධනය සඳහා තාක්ෂණයේ වැදගත්කම හඳුනා ගැනීමට අපොහොසත් වන නායකයින් සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තරුණ ඡන්දදායකයින් ප්‍රවේශම් විය යුතුය.තරුණ ඡන්දදායකයින්ට රටේ දිශාවට බලපෑම් කිරීමේ බලය ඇත. ඒ නිසාම ශ්‍රී ලංකාවේ තරුණ ඡන්දදායකයින්ට පරිවර්තනීය බලවේගයක් වීමේ හැකියාව ද ඇත.

එහිදී කෙටි කාලීන වාසිවලට වඩා දිගු කාලීන ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරමින් තම ඡන්දය ප්‍රවේශම්සහගතව හා විචක්ෂණශීලිව භාවිත කළ යුතුයි.

අධ්‍යාපනය, රැකියා, කායික හා මානසික සෞඛ්‍යය, තාක්ෂණික දියුණුව සහ තිරසාර සංවර්ධනය, පරිසර සුරක්ෂිතතාව කේද්‍රිය වන ප්‍රතිපත්ති සඳහා ප්‍රමුඛත්වය දිය යුතු කාලය එළඹ ඇත. සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ප්‍රචණ්ඩත්වයන් හමුවේ සිය ජීවිතයේ හරය හා වටිනාකම තේරුම් ගනිමින් සමාජ විරෝධි හා පසුගාමී ආකල්ප අභිබවා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා සුරක්‍ෂිත රටක් තමන් වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරගැනීමේ වගකීම තරුණ ඡන්නදායකයින් සතු වන ප්‍රබලම අභියෝගයයි. රටේ සංවර්ධනයේ තිරණාත්මක සාධකය වන තරුණ ශ්‍රමය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි අයුරින් භාවිතයට ගෙන රටේ ධනාත්මක පරිවර්තනයක් ඇති කරමින් තිරසර සංවර්ධන ඉලක්ක අභිමුඛ ප්‍රතිපත්ති තුළින් ස්ථාවර වු සංවර්ධිත රටක් බිහි කරවා ගැනීම සඳහා තරුණ ඡන්දදායකයා සබුද්ධික විය යුතුය.