ජනාධිපති ධුර අපේක්ෂක විජයදාසගෙන් පෙත්සමක්

ටෲත් විත් චමුදිත යූටියුබ් චැනලය ඔස්සේ ප්‍රකාශයක් විකාශය කිරීම මඟින් ජනාධිපති ධුර අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණයට අපහාස කර ඇති බැවින් පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා හිටපු අධිකරණ ඇමැති ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (12) පෙත්සමක් ඉදිරිපත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ ඔවුන්ට එරෙහිව විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස එම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

ජනාධිපති ධුර අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා සහ ටෲත් විත් චමුදිත යූටියුබ් චැනලයේ හිමිකරු වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ජනාධිපති ධුර අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා සමඟ චමුදිත සමරවික්‍රම මහතා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදා යූටියුබ් චැනලය ඔස්සේ විකාශය වූ බව පෙත්සමේ සඳහන් වේ.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවක් සම්බන්ධයෙන් එහිදී ඔහු විසින් කරන ලද ප්‍රකාශ ඉන් අනතුරුවත් එම යූටියුබ් චැනලය ඔස්සේ වරින් වර විකාශය වූ බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.

අදාළ ප්‍රකාශය සිදු කිරීම සහ විකාශය කිරීම මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානියක් සහ අධිකරණයට අපහාස කිරීමක් වන බවට පෙත්සම්කරු පෙන්වා දී ඇත.

එබැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා ඔවුන් දෙදෙනාටම සුදුසු දඬුවමක් පමුණුවන ලෙස විජයදාස රාජපක්ෂ මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා සිටියි.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මඟින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.