දරුවන් දේශපාලනයට යොදාගැනීම සම්පූර්ණ වැරදියි

දරුවන් දේශපාලනයට යොදාගැනීම සම්පූර්ණ වරදක් බවත්, මැතිවරණ ලාංඡන නම් කර කතිරෙ ගහන්න කියන පණිවිඩය දරුවන් අතේ ගෙවල්වලට යවන ගුරුවරුන් සිටින බව පුවත්පත්වල පළවී ඇති බවත් අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ කොළඹ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“දේශපාලන පක්ෂ සම්බන්ධ වෘත්තීය සමිතිවලට මේ පිළිබඳ චෝදනා එල්ල වෙනවා. දරුවන් දේශපාලනයට යොදාගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. පාසල් ළමයින් දේශපාලනයට යොදාගැනීමක් සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නවා.

දරුවන් දේශපාලනයට යොදාගන්නවා නම් ඒක සම්පූර්ණ වරදක්. පාසල් ළමයින් යොදාගෙන දේශපාලන ව්‍යාපාරයක් කරනවා නම් ඒකෙන් පේන්නේ ඒ දේශපාලන ව්‍යාපාරය තියෙන තැන. අපි කිසිසේත්ම ඒකට ඉඩ තියන්නේ නෑ. යම් කෙනෙක් දරුවන් දේශපාලනයට යොදාගන්නා බවට අමාත්‍යාංශයට වාර්තා වුවහොත් වහාම පරීක්ෂණයක් කරනවා. අපට තියෙන්නේ මැතිවරණ කොමසාරිස්ට කියන්න. එවිට මැතිවරණ කොමසාරිස් පියවර ගන්නවා. තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ගැන ඔය තරම් සහතිකයි නම් දරුවන් ඡන්ද ව්‍යාපාරවලට යොදා ගන්නේ ඇයි?

ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය විසින් 2024 මැයි මාසෙ පත්කළ උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාවලිය සකස් කර තිබෙනවා. වැටුප් විෂමතාවක් ඉවත් කරනකොට අනිවාර්යයෙන්ම වැටුප් වැඩි කරන්න වෙනවා. 24% සිට 50%, 60% දක්වා පරාසයක වැටුප් වැඩිවීමක් සිද්ධ වෙනවා. එතැනදී පදනම හැටියට අරගෙන තිබෙන්නේ එස්.එල්.කිව්.එෆ්. ශ්‍රී ලංකා කොලිෆිකේෂන් ෆ්රේම් වර්ක් එකේ එන්.වී.කියු. සහ අධ්‍යාපන සුදුසුකම් කියන එක. මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාව නාමයෝජනා දීමටත් පෙර අගෝස්තු මාස 12 වැනිදා අනුමත කළා. 13 වැනිදා ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිකුත් වුණා.

කවුරු හරි කියනවා නම් කැබිනට් පත්‍රිකාවක් අනුමත වෙලා නෑයි කියලා කැබිනට් පත්‍රිකාවේ අංකය 228 අ. ම. ප./24/1609/601027 දරන ඇමැති මණ්ඩල සංදේශයෙන් ඇමැති මණ්ඩලය අතුරු වාර්තාව තහවුරු කළා. ඒ අනුව භාණ්ඩාගාරය විසින් 2025ට අදාළ අය-වැය ලේඛනයේ ප්‍රතිපාදන වෙන් කිරීමේදී පදනම හැටියට ගත්තේ මෙයයි. අය-වැයක් සකස් කිරීමේදී ඕනෑම ආණ්ඩුවක් මුලින්ම අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කරලා, අතිරේක පඩි වැඩිවීම් වෙනවා නම් ඒ සියල්ල ඇමැති මණ්ඩලයෙන් අනුමත කර ඒක පදනම් කරගෙන අය-වැය හදනවා. ඒ ක්‍රමවේදයන් අනුගමනය කර තමයි රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබඳව ජනතාව දැනුම්වත් කළේ. විපක්ෂයේ සමහර අපේක්ෂකයන් ඒ ගැන කිසි දෙයක් සඳහන් කළේ නෑ. ඒ ගැන සඳහන් කළ අය කළේ අපි අවම වැටුප 55,000 කිව්වාම 2500ක් එකතු කරලා 57,500ක් කියපු එකයි. මේ වැටුප් වැඩිවීම කරනකොට රුපියල් බිලියන 250ක අතිරේක ප්‍රතිපාදනයක් අවශ්‍යයි. දැනට රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට රුපියල් බිලියන 1200ක් වර්ෂයකට අවශ්‍යයි. විශ්‍රාමිකයන්ට රුපියල් බිලියන 400ක් අවශ්‍යයි. මේ දෙක එකතු කළාම බිලියන 1600ක් වෙනවා. අලුතෙන් පඩි වැඩිවීම එකතු වුණාම බිලියන 1850ක් අවශ්‍ය වෙනවා.

අනුර කුමාර දිසානායක ආව ගමන් විසුරනවාලු. නීත්‍යනුකූලව එහෙම කරන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මොකක්ද කරන්නේ කියලා අපි දන්නේ නෑ. මොකක්ද කරන්නේ කියලා කියන්නේ නෑ. අපට එහෙම ප්‍රශ්නයක් නෑ. අපි ජයග්‍රහණය කරනවා. අපි ඉදිරිපත් කරන අය-වැය ලේඛනය සූදානම් කරගෙන යනවා. නියමිත කාලයේදී වාර්ෂිකව අය-වැය ඉදිරිපත් කර සම්මත කර ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවක වැටුප් විෂමතාව ඉවත් කර, වැටුප් වැඩිවීම කරනවා. ජනවාරි පළමු වැනිදා සිට වැටුප් විෂමතාව ඉවත් කරමින් වැටුප් වැඩි කිරීම කරන බවට අපි දෙන සහතිකය හැකි නම් අනික් පාර්ශ්වවල අයටත් දෙන්න කියලා අභියෝග කරනවා. මම දන්නවා ඒ අයට වැඩපිළිවෙළක් නෑ. පාර්ලිමේන්තුව විසිරෙව්වොත් කොහෙත්ම දෙන්න බෑ. අපි ඒක සූදානම් කර තියෙන්නේ. අපි කියන්නේ හිතලුවක් නෙවෙයි. යථාර්ථයක් බවට පත්කර තියෙන්නේ. ලක්ෂ දාහතරක් වන රාජ්‍ය සේවකයන් මේ ගැන කල්පනා කර බලන්න කියලා මම ඉල්ලනවා.”