ජවිපෙ ගැන විරෝධාකල්ප ප්‍රකාශ කරද්දී රැස්වීමේ ගුටි බැට

රට බෙදන , බුදු සසුන වනසන, රණවිරුවන් පාවාදෙන, වර්ග වාදයට උඩගෙඩි දෙන, විදෙස් බලවේගයන්ට රට පොරපිටියක් කරන, ජනාධිපතිවරණයේ ව්‍යාජ රංගනය අභිමුව රට හමුවේ ඇති සැබෑ අභියෝග යන මැයෙන් දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ සංවිධානයකර තිබුණු මහජන සම්මන්ත්‍රණයේදී නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් ජාතික ජන බලවේගය බෞද්ධාගම සම්බන්ධයෙන් දරණ අදහස් ගැන සිය මතය උදාහරණ දක්වමින් පවසමින් සිටියදී සංවිධානාත්මකව එහහි පැමිණ සිටි පිරිසක් කළහාකාරී ලෙස හැසිරී ගැටුමක් ඇතිකරගෙන තිබේ.

මෙම ගැටුමට සම්බන්ධවී ඇත්තේ ජාතික ජන බලවේගය නියෝජනයකරන ජවිපෙ පිරිසක් බවට තොරතුරු පොලීසියට ලැබී තිබේ. ඒ අතර ඒ සම්බන්ධයෙන් මෙම මහජන සම්මන්ත්‍රණය සංවිධානය කළ පාර්ශවයෙන් මෙන්ම ගැටුමට සම්බන්ධ පාර්ශවයෙන්ද කුරුදුවත්ත පොලීසියට ඊයේ රාත්‍රීය වන විට පැමිණිලි ලැබී ඇත. මෙහිදී පහරකෑමට ලක්වූවෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම සම්මන්ත්‍රණය ඊයේ සවස 3.00ට පමණ ආරම්භවී ඇත.

දේශප්‍රේමී ජාතික පෙරමුනේ විධායක සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් වේගවත් අදහස් ප්‍රකාශ කිරීමක් මෙහිදී සිදුරමින් මාලිමාව නියෝජනය කරන ජවිපෙ ඇතුළු ක්‍රියාකාරිකයන් බුදු දහමට ලබාදෙන ස්ථානය ගැන මෙන්ම ඔවුන් භික්ෂූන්ව විවේචනය කරමින් කළ ප්‍රකාශයන් ද පවසමින් ” අනුර කුමාර දිසානායක මහතා දිව උල් කරලා අපිට කියපු දේ තමයි අපි යහපාලන ආණ්ඩුවේ හිටියෙ නෑ අපි යහපාලන ආණ්ඩුවට අත දැම්මෙ නෑ ” යනුවෙන් අදහස් දැක්වීමේ දී මෙම ස්ථානයට පැමිණ සිටි පිරිසක් එකවරම කළහාකාරී ලෙස හැසිරෙමින් අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ ගැටුම ඇතිවී තිබෙන බව පොලීසිය කියයි.

බොරැල්ල සීවලී පටුමගේ පදිංචිකරුවෙක් වන රණසිංහ ආරච්චිගේ ධර්මපාල යන අය හා තවත් පිරිසක් විසින් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතාගේ අදහස් දැක්වීමට විරෝධය පා ඇති බව පොලීසිය කියයි.

මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළ පිරිසට එය ඉදිරියට පවත්වාගෙන යාමට මෙම පිරිසගේ හැසිරීම ගැටළුසහගත වූ බැවින් ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවර ගැනීමත් සමග ඇතිවූ කළහකාරී තත්වය හේතුවෙන් දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් දීමක් සිදුව ඇති බව පොලීසිය කියයි.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන අය හා පහර කෑමට ලක්වු අයෙකු වන රණසිංහ ආරච්චිලාගේ ධර්මපාල යන අයවලුන් පැමිණ මේ සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබේ.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පොලීසියට පවසා ඇත්තේ වනාතමුල්ල ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුනේ සංවිධායක වරයෙකු වන ධර්මපාල යන තැනැත්තා විසින් තමා කතා කරමින් සිටියදී ඊට බාධා කරමින් ගැටුමක් ඇතිකරගත් බවය.

මෙම සම්මන්ත්‍රණයට හතලිස් දෙනෙකුගේ පමණ පිරිසක් පමණක් සහභාගී වී සිට ඇති බව පොලිසිය කියයි.