ගොවි ජනතාවට MOP පොහොර ගැන සුබ පණිවිඩයක්

ලෝක ආහාර වැඩ පිළිවෙළ විසින් මෙරටට ලබා දීමට නියමිත MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක තොගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මෙම පොහොර තොගය ලබා ගැනීම සඳහා පසුගිය මාර්තු මාසයේ සිට කටයුතු යොදා තිබුනත් රාජ්‍ය නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය නිසා එම කටයුතු ඇදෙමින් පැවැතිනි. ඒ අනුව මෙම සතිය තුළ සියලු කටයුතු මෙම සතිය තුළ අවසන් කරන ලෙසත්, අදාල ගිවිසුම් අත්සන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරින්ට දැනුම් දුන්නේය.

ඒ අනුව වී වගාවට අත්‍යවශ්‍යම පොහොර වි‌ශේෂයක් වන MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ඉදිරි මහ කන්න දෙකක දී මෙරට සියලුම වී ගොවීන්ට නොමිලයේ ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

සාමාන්‍යයෙන් එක් වගා කන්නයක දී මෙරට වී වගාව සඳහා අවශ්‍ය MOP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කි. ඒ අනුව මෙම පොහොර තොගය වසර දෙකකට සෑහෙන අතර තවත් වසර කිහිපයක් සඳහා පසට යොදන මෙම MOP පොහොර මගින් ප්‍රතිඵල ලබා ගත හැකිය.

සාමාන්‍යයෙන් වෙළෙඳපළේ ඉහළ මිලක් වන MOP පොහොර වී ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට නියමිතය.