ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන ‘Open Day’ (විවෘත දිනය) අද (12) පෙරවරු 9.00 සිට ප.ව. 6.00 දක්වා නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ප්‍රධාන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න මහතා පැවසුවේ මේ වන විට විවෘත විශ්වවිද්‍යාලයේ පීඨ 6ක් මඟින් සහතික පත්‍ර, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි යන මට්ටම්වලට අදාළ පාඨමාලා 79ක් පැවැත්වෙන බවයි. එම පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත්, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය මගින් සපයනු ලබන පහසුකම් පිළිබඳ දැනගැනීමටත් සහ විෂයයන්ට අදාළ ආචාර්ය මහාචාර්යවරුන් හමු වී අවශ්‍ය උපදෙස් ගැනීමටත් Open Dayහිදී හැකියාව ලැබෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ දූරස්ථ අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ එකම ජාතික විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වන අතර එමෙන්ම මෙය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් විශ්වවිද්‍යාලයක් බවත් මෙහි සියලු පාඨමාලා අභ්‍යන්තර පාඨමාලා ලෙස පැවැත්වෙන බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කළේය. සියලු පාඨමාලා ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනෙන බවද මේ පාඨමාලා හැදෑරීමට නිරතුරුව විශ්වවිද්‍යාලයට පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර, රැකියාවක නිරත වන අතරතුර පවා අධ්‍යාපනය ලැබීමේ හැකියාව පවතින බවද පැවසූ ඒ මහතා අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය සියලු ඉගෙනුම් ආධාරක මුද්‍රිත ප්‍රකාශන ලෙස හා අධ්‍යයන කළමනාකරණ ක්‍රමවේදය ඔස්සේ සිසුන්ට ලබාගැනීමටද හැකියාව ඇති බවත් ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9ක් හා අධ්‍යයන මධ්‍යස්ථාන 19ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති බැවින් කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානයට නොපැමිණ, තම ආසන්නතම මධ්‍යස්ථානයෙන් අධ්‍යාපන කටයුතු හැදෑරීමට හැකි බවත් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා විවෘතවිශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට උසස් පෙළ Z අගය හෝ වයස බාධාවක් නොවන අතර, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව ඉතා අවම මුදලක් වැය කර මෙහි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. වැඩවර්ජන, උද්ඝෝෂණ ආදි කවර තත්ත්වයක් යටතේ වුවද බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදු කළ හැකි වීමද විශේෂත්වයකි. එබැවින් විවෘත විශ්වවිද්‍යාලයේ Open Day (විවෘත දිනය) හා සම්බන්ධ වෙමින් ඔබගේ අනාගත අධ්‍යාපන සිහින සැබෑ කරගැනීමට හැකි අතර උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ මවුපියන් ඇතුළු ඕනෑම අයකුට මේ සඳහා සහභාගි විය හැකිය.