ඕෂධ ප්රනාන්දුගේ විශිෂ්ට පිතිහරඹය සහ ඉසිත විජේසුන්දරගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් දකුණු අප්රිකා ‘ඒ’ පිලට එරෙහිව කිම්බර්ලිහිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට සංචාරක ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.මේ තරගයේ ජයග්රහණය සඳහා හිමි වූ ලකුණු 173ක ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී සපුරා ගැනීමට සමත් වූ ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
මේ තරගයේදී දකුණු අප්රිකා ‘ඒ’ පිල පළමු ඉනිමට ලකුණු 372ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්රී ලංකා පිලට පළමු ඉනිමේ රැස් කළ හැකි වූයේ ලකුණු 323ක් පමණි. ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 49ක් වාසියක් හිමිකර ගැනීමට සත්කාරක දකුණු අප්රිකාව සමත් වුවත් දකුණු අප්රිකා දෙවැනි ඉනිම ලකුණු 124කට සීමා කිරීමට ඉසිත විජේසුන්දර ප්රමුඛ ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ඉසිත සිය තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් කඩුලු 7ක් බිඳ දැමීමට සමත් වූයේ ලකුණු 34ක් පමණක් දෙමිනි. මේ හේතුවෙන් ශ්රී ලංකා පිලට ලකුණු 173ක ඉලක්කය හිමි විය.
ශ්රී ලංකා පළමු ඉනිමේදී අගනා ශතකයක් (122) රැස් කළ ආරම්භක පිතිකරු ඕෂධ ප්රනාන්දු දෙවැනි ඉනිමේදීත් වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු80ක් රැස් කරමිනි. පන්දු 122කින් ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් විය. ළහිරු උදාර ලකුණු 26ක්, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 22ක් සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 23ක් ඉනිමට එක් කළහ. දෙපිල අතර අවසන් සිව්දින තරගය මේ ඉරිදා (15) බෙනොනිහි විලොව්මෝර් ක්රීඩාංගණයේදී ආරම්භ වේ.