තමාට විවාදයකට කතා කිරීමට පෙර මාලිමාව අනුගමනය කරන්නේ අපනයන ආර්ථිකයද? ආනයන ආර්ථිකයද? කියා පක්ෂය ඇතුළේ විවාද කොට එකඟතාව කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (10) කුරුණෑගල පැවති ව්‍යාපාරික හමුව සහ නාරම්මල පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය:
“මීට වසර දෙකහමාරකට පෙර රට ගොඩනැඟීමේ වැඩසටහන ආරම්භ කළා. ඒ කාලයේ සජිත්ට සහ අනුරට වුණේ මොකක්ද? මිනිසුන්ට කෑම, බෙහෙත්, ඩීසල්, පොහොර නැති අවස්ථාවේ විපක්ෂය හිටියේ කොහේද? මිනිසුන් ගැන වේදනාවක් ඔවුන්ට තිබුණේ නැද්ද? මේ අර්බුදයට කුමක් හෝ කළ යුතුයැයි ඔවුන්ට සිතිවිල්ලක් පහළ වුණේ නැද්ද? එදා ඔවුන් පැත්තකට වෙලා හිටියා. ඔවුන් එදා රට භාර ගෙන කටයුතු කළා නම් මම මෙතන නැහැ. කිසිවකුත් ඉදිරිපත් වූයේ නැති නිසා තනි මන්ත්‍රී ලෙස සිටි මට ඉදිරියට එන්න සිදු වුණා. මේ කටයුත්ත භාර ගෙන කරන්න පුළුවන්, මට ප්‍රශ්නයක් නැතැයි මා එදා පැවසුවා.
“ගෝඨාභය ජනාධිපතිතුමා රටින් ගිය අවස්ථාවේ අප පාර්ලිමේන්තුවේ ඡන්දයකට ගියා. බලයේ හිඩැසක් තියන්න හොඳ නැහැ. අද බංග්ලාදේශයේ බලයේ හිඩැසක් ඇති වී තිබෙනවා. ෂික් හසීනා අගමැතිතුමිය පිටව යන විට ඒ වෙනුවට වෙන කෙනෙක් පත් කළේ නැහැ. අපත් එදා හරි වැඩපිළිවෙළට කටයුතු නොකළා නම් අදත් එක එක්කෙනා මරාගන්නවා. අප ඒ අවස්ථාවේ රටේ පාලනය භාර ගත්තා. ඒ අවස්ථාවේ මට මූල්‍ය අරමුදලින් සහයෝගය ගන්න සිදු වුණා. මා ඒ වැඩකටයුතු හොඳින් දන්නා නිසා පහසුවෙන් ඉදිරියට යන්න හැකි වුණා.
“ලංකාවේ ණය බර ආර්ථිකයට දරාගන්න නොහැකි බව එදා මූල්‍ය අරමුදල පැවසුවා. මෙහෙම ගියොත් ආර්ථිකය කැඩී යන බවත් ඔවුන් කිවුවා. ණය ගන්න එපායැයි ඔවුන් පළමුවෙන්ම පැවසුවා. ණය ගැනීම දළ ජාතික නිෂ්පාදනයෙන් 5%කට සීමා කරන ලෙස ඔවුන් පැවසුවා; එමෙන්ම මුදල් අච්චු ගහන්න එපායැයි පැවසුවා. ඒ තවදුරටත් රුපියල කඩාවැටීමේ අවදානම තිබූ නිසයි. ඒ කාරණයට මා එකඟ වුණා. බැංකු කඩාවැටීමේ අවදානමක් ඇති නිසා බැංකුවලින් ණය ගන්න එපා කිවුවා. මා ක්‍රියා කළේ මේ උපදෙස් අනුවයි. එවිට මා ආදායම් හොයන්නේ කොහෙන්ද? 2022දී සියලු ආදායම් කපාදමා තිබුණා. මිනිසුන්ගෙන් බැනුම් අහන්න සිදු වන බවත්, අසීරු තීන්දු ගන්නට සිදු වන බවත් මා රට භාර ගනිද්දීම දැනගෙන හිටියා. වැට් බද්ද වැඩි කරන්න සිදු වුණා. ඒ පියවර නිසා සියලු දෙනාටම පහර වැදුණා. ඒත් මාස හයක් යන්න පෙර රුපියල ශක්තිමත් වුණා. ඩොලරයට 370ක්ව තිබූ රුපියල 300ක් බවට පත් වුණා. බඩු මිල 10-40% අතර අගයකින් අඩු වුණා. කිසිවකුත් තවම බඩු මිල ගැන සෑහීමකට පත් වන්නේ නැහැ. මමවත් එලෙස සෑහීමකට පත් වන්නේ නැහැ.
“අප දැන් ඉදිරියට යා යුත්තේ එතැන් සිටයි. අප මේ වරමක් ඉල්ලන්නේ ඒ වැඩ කටයුත්ත සිදු කරන්නයි. අප ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. ඒත් ඒ ස්ථාවර බව තහවුරු කරන්න තිබෙනවා. එය තහවුරු කර ඉදිරියට යන්න නම් ආනයන ආර්ථිකයක් තබාගෙන එය කරන්නට බැහැ. එසේ වුව හොත් තව ණය ගන්නට සිදු වනවා. 2042 වන තුරු ණය ගෙවන්න මා දැන් සහන කාලයක් අරගෙන තිබෙනවා. ණය පොලිය සම්බන්ධයෙන් ඩොලර් බිලියන දහයක පමණ සහනයක්ද ලැබෙනවා. අප අපනයන ආර්ථිකයක් බිහි කළ යුත්තේ ඇයි? අපගේ ආනයන සඳහා අපනයන ආදායමෙන් ගෙවන්න ශක්තියක් ලබාගත යුතුයි. එහෙත් වර්තමානයේ අපේ අපනයනය ප්‍රමාණවත් නැහැ. ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න නම් අපට ජන වරමක් අවශ්‍යයි.
“බඩු මිල අඩු කරන්න නම් කළ යුත්තේ රුපියල තව තවත් ශක්තිමත් කිරීමයි. රුපියල මෙන්ම ආර්ථිකය ශක්තිමත් වන විට තවත් බඩු මිල අඩු වනවා.
2019දී මා රට භාර දෙන විට ඩොලරයට රුපියල 185ක අගයක පැවතුණා. ඒ අගය 370 දක්වා ඉහළ ගියා. මා එය ස්ථාවර කරන්න තැත් කළා. 300 දක්වා අගයකට ගෙන එන්න හැකියාව ලැබුණා. රුපියල බාල්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස බඩු මිල දෙගුණයක් බවට පත්ව තිබෙනවා. එහෙත් ජනතාවගේ ආදායම වැඩි වී නැහැ.
“අප උපයාගත් මුදල්වලින් අස්වැසුම සහනය ජනතාවට දුන්නා. මුලින්ම අප රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 5,000ක දීමනාවක් දුන්නා. අනතුරුව ඒ දීමනා තවත් වැඩි කරන්නට හැකියාව ලැබුණා. 2025 වන විට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සම්බන්ධයෙන් උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන්න හැකි වනවා. ඉදිරියේදී බඩු මිලට යම් සහනයක් දෙන අතර ආදායම වැඩි කරන්න කටයුතු කරනවා. තවමත් යම් පරතරයක් තිබෙනවා. මේ අනුව එන අවුරුද්ද වන විට ජීවන බර තවත් සැහැල්ලු කිරීමට හැකියාව ලැබෙනවා. මේවා කරන අතරතුර ආයෝජන කලාප, කෘෂිකර්ම නවීකරණය, ඩිජිටල් ආර්ථිකය ආදි වැඩසටහන්ද අප කරගෙන ගියා.
“ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් අප විශේෂයෙන් කතා කළ යුතුව තිබෙනවා. අප මූල්‍ය අරමුදල කියන වැඩසටහනට අනුව ක්‍රියා කරනවා නම් ණය ගැනීමේ හැකියාව සීමා සහිතයි. අපේ ආණ්ඩුවේ සැලසුම අනුව එන වසරේ වියදම ඩොලර් බිලියන 6,800ක් වෙනවා. ආදායම ඩොලර් බිලියන 5,100යි. ඩොලර් බිලියන 1,700ක පරතරයක් තිබෙනවා. හොඳ වෙලාවට ඒ අගය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%යි. ඒ අනුව කිසි බයක් නැතිව අපට අයවැය හදන්න පුළුවන්.
“දැන් බලන්න මාලිමාව කියන දේ. මාලිමාවේ ප්‍රතිපත්ති අනුව ඔවුන්ට වාර්ෂික වියදම ඩොලර් බිලියන 8,900ක්. අපට වඩා ඩොලර් බිලියන 2,000ක් වැඩියි. බදු සහන දුන් විට ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන 4,900යි. අප ලබන ආදායමටත් වඩා ඔවුන්ගේ ආදායම අඩුයි. ඩොලර් බිලියන 4,000ක අයවැය පරතරයක් ඔවුන්ට තිබෙනවා. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9%ක අයවැය පරතරයක්. මේ තත්ත්වය යටතේ ඔවුන් රට ඉදිරියට ගෙනයන්නේ කෙසේද? මේ අයවැය ක්‍රියාත්මක කළොත් සිදු වන්නේ කුමක්ද? පළමුවෙන්ම දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ට වඩා වැඩි අගයකට ණය ගන්න උත්සාහ කරාවි. එය මූල්‍ය අරමුදලේ ගිවිසුම කැඩීමක්. එහෙම කළොත් වැඩි පොලියකට ණය ගන්න සිදු වේවි. එවිට පොලිය 25%ක් ගෙවන්න වේවි. ප්‍රශ්නයක් නෑ නේද? ඒකනේ වෙනස. වෙනසක් ඉල්ලුවා නේ. ඔන්න 25%ක පොලියට ණය තිබෙනවා.
“මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් මූල්‍ය අරමුදලේ කොන්දේසි කැඩුවොත් පළමුවෙන්ම වන්නේ රුපියල ඩොලරයට සාපේක්ෂව 450-500 අගයකට ඉහළ යෑමයි. කොන්දේසි කඩාදමා මූල්‍ය අරමුදලේ සහයෝගය නැති කරගත්තොත් ඒ දේ සිදු වනවා. ඔවුන්ගේ වෙනස ඒක තමයි. ඒ ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ‘අපේ ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක් ඇති කිරීමයි, ඔබලාගේ ප්‍රතිපත්තිය කුමක්දැ‘යි මා මාලිමාවෙන් ඇසුවා. අපනයන ආර්ථිකයකට යන බව මා මිත්‍ර… එලෙස කියන්න එපා කියා තිබෙන නිසා, හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. ඒත් නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා. අපනයන ආර්ථිකයක් තබාගෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන්නේ කොහොමද? එවිට භාණ්ඩ පිටරට යවන්න බැහැනේ. වාසිය ලැබෙන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසයි.
“අනෙක මා ආර්ථික ප්‍රවර්ධන පනත ගෙන ආ විට යටට අඳින බැනියමේ හිල් තියෙන කෙනා සහ සූරියප්පෙරුම ගිහින් නඩු පැවරුවා. අපනයන ආර්ථිකය මේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධ බව කියා ඔවුන් එලෙස නඩු පැවරුවා. මා ඒ කාරණය ඇසුවා. විවාදයකට එන්නැයි ඔන්න දැන් ආනමඩුවේදී පවසා තිබෙනවා. විවාදයක් කරන්නේ කොහොමද? මුලින්ම අපනයන ආර්ථිකයක්ද නැද්ද කියා කියන්න. මා සමඟ විවාද කරන්න පෙර හිටපු කෘෂිකර්ම ඇමැති අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති සහ සූරියප්පෙරුම මහත්වරුන් අතර විවාදයක් කොට ඔබ අනුගමනය කරන්නේ ආනයන ආර්ථිකයක්ද?අපනයන ආර්ථිකයක්ද? කියා මට කියන්න.
“ඒ කාරණය හරියට පැවසූ පසුව මා මුලින් කියූ පරිදි මූල්‍ය අරමුදලේ විවාදය පවත්වමු. මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂවරියත්, මමත්, අනුරත්, අවශ්‍ය නම් සජිත්ටත් එන්න කියමු. අනුර සහ මම විතරක් කතා කරලා වැඩක් නැහැ නේ. සජිත් එනවට නම් මම ටිකක් බයයි. මොකද, එයා කතා කරන්න පටන් ගත්තට පස්සේ පැය දෙකක් යනකොට මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂතුමිය මට තව වැඩ තියෙනවා කියලා නැඟිටලා යාවි. අපි ඒ පිළිවෙළට විවාදය කරමු. එතකොට ප්‍රශ්නයක් නෑ නේ. සූම් තාක්ෂණය ඔස්සේ එය සිදු කළ හැකියි.
“මේ ගැටලුව නිරාකරණය කරගෙන විවාදය කරන්න මම ලෑස්තියි. පළමුවෙන්ම යෝජනා කළේ මම නේ. ආර්ථිකය කඩාගෙන රට බංකොලොත් කරන අයවැයක් ගෙනාවේ ඇයිදැයි මා මාලිමාවෙන් අහනවා. නිකං වේදිකාවේ කෑගහලා වැඩක් නැහැ, අරයා මාරු කරනවා, මෙයා මාරු කරනවා කියලා වැඩක් නැහැ, ආර්ථිකය ගැන කතා කරන්නැයි හිටපු කෘෂිකර්ම ඇමැති අනුර කුමාර දිසානායක මහතාට මා කියනවා. ඒ කාලේ කෘෂිකර්මය නවීකරණය නොකළේ ඇයි? ඒ ප්‍රශ්නයට උත්තර අවශ්‍ය නෑ. ආනයන අපනයන ආර්ථික ප්‍රශ්නයට උත්තර දෙන්න.”
ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා:
“අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂ 37ක් අප සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ අප අත්වැල් බැඳගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අපේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කරපු කැප වීමට කළගුණ සැලකීම සඳහායි. ලබන 21 දා එතුමාට අප දෙන්නේ කළ ගුණ සැලකීමේ මනාපයක්. අප ජනාධිපතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනවා. රනිල් වික්‍රමසිංහ මහතාට විශිෂ්ට ජයක් අත් කරදෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා:
“රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ රට කඩාවැටුණු අවස්ථා දෙකකදී බේරාගත්තා. ඔහු 2001දී රට ගොඩ ගත්තා. ඒ වගේම 2022දීත් රට බාරගත්තා.
කොහොම හරි එතුමා බාර ගෙන ඒ වැඩේ සාර්ථක ඉටු කළා. ඔහු තමයි අපේ රට ගොඩ ගත් නායකයා. අද බංග්ලාදේශයට රනිල් වික්‍රමසිංහ මහතා වගේ කෙනෙක් නැතුව ඒ රට අනාථ වෙලා තිබෙන්නේ. ජනාධිපතිතුමත් එක්ක තරග කරන අනෙක් අපේක්ෂයො මේ දවස්වල පොරොන්දු නොවන දෙයක් නෑ. ඒ අය කියන දේ කරන්න අමාරුයි. රට දිනවන වැඩපිළිවෙළක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි. මේ අවස්ථාව අපට අත්හදා බැලීම් කරන්න කාලයක් නොවෙයි. අප රට ගොඩ ගත් නායකයාට නැවත බලය දිය යුතුයි.”
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා:
“ජනාධිපතිතුමා රට භාර ගන්න කොට තිබුණේ ඉතා කනගාටුදායක තත්ත්වයක්. අරගලය නිසා රට විනාශ වෙලා තිබ්බා. නීතිය හා සාමය ස්ථාපිත කරන්න සිදු වුණා. ජනාධිපතිතුමා ඒ දේ කළා. ඊට පස්සේ ආර්ථිකය ගොඩනැඟෙන්න පටන් ගත්තා. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අප මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න යුක්තිය මෙහෙයුම ආරම්භ කළා; පාතාලය මර්දනය කරන්න පියවර ගත්තා. පාතාලය මර්දනය කරලා, නීතිය හා සාමය ආරක්ෂා කරලා, රටේ ආර්ථික ගොඩනැඟූ ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකක පාලන කාලය ගැන හිතලා එතුමාට ඡන්දය දෙන්න.”
හිටපු ඇමැති එස්.බී. නාවින්න මහතා:
මම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යූඑන්පී ආණ්ඩු කාලෙ වයඹට වැඩ කර තිබෙනවා. වයඹ සංවර්ධන අමාත්‍යාංශය හදලා අපට වැඩ කරන්න එතුමා අවස්ථාව සලසා දුන්නා. මේ රට හදන්න දුර දැක්මක් තිබෙන්නේ එතුමාට විතරයි.”
රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා:
“අරගලකාරීන් එදා අපේ ගෙවල් විනාශ කළා. කුපිත වූ ජනතාව මහජන මන්ත්‍රීවරයකු මහ පාරේ මරාදැම්මා. ඒ අවස්ථාවේ රට ගිනි ගැනීම වැළකුණේ රනිල් වික්‍රමසිංහ මහතා නිසයි. අප එතුමාට කළගුණ සැලකිය යුතුයි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා:
“කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් ගෑස් සිලින්ඩරය දිනවා, රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ජනපති කරන්න වයඹ ජනතාව සූදානම් බවයි මේ ජන රැලියෙන් කියන්නේ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක මහතත්මිය සහ දඹදෙණි ආසනයේ එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල ප්‍රධාන සංවිධායකරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, වයඹ පළාතේ පළාත් සභා හා පළාත් පාලන හිටපු මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි සිටියහ.