ඉන්දියාවේ චෙන්නායිහිදී ඊයේ ආරම්භ වූ සිව්වැනි දකුණු ආසියානු (අවුරුදු 20න් පහළ) කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලියේදී පළමු දිනයේ සියලු ගෞරව හිමි කර ගැනීමට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ. රටවල් 6ක් එක්වන තරගාවලියේ පළමු දිනයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ද ශ්රී ලංකාව සමත් වූයේ පදක්කම් 9ක් දිනා ගනිමිනි.
ඊට රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළත් විය.
පිරිමි මීටර් 100 ඉසව්වෙන් නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට මෙරොන් විජේසිංහ සමත් විය.
මෙරෝන් තත්පර 10.41කින් තරගය නිමා කළ අතර, ඒ සමඟ ෂෙහාන් අබේපිටිය තත්පර 10.43කින් තබා තිබූ ජාතික කනිෂ්ඨ වාර්තාව මැකී ගියේය. එය නව තරගාවලි වාර්තාවක් මෙන්ම තම හොඳම පෞද්ගලික කාලය ද විය. එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට දිනෙත් ඉඳුවර වීරරත්නට (තත්. 10.49) හැකි වූයේ ඔහුගේ ද හොඳම කාලය සටහන් කරමිනි.
මේ අතර මීටර් 800 කාන්තා හා පිරිමි රන් පදක්කම් දිනා ගැනීමට ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ. එහිදී තරුෂි අභිෂේකා මිනිත්තු 2:10:83කින් කාන්තා රන් පදක්කම දිනා ගනිද්දී එහි පිරිමි රන් පදක්කම දිනා ගැනීමට සවිඳු අවිශ්ක සමත් වූයේ මිනිත්තු 1:49.83ක කාලයක් වාර්තා කරමිනි. මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ සන්සලා හිමාෂනීට (මිනිත්තු 2:12.13) හිමි වූවාය.
ශ්රී ලංකාවට එකම ඉසව්වකින් රිදී පදක්කම් හිමි කර දීමට නේත්රා සමාධි සහ කශ්මිකා තිමාෂි ඊයේ සමත් වූයේ කාන්ත උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.65ක දක්ෂතාවක් සමඟිනි.
පිරිමි යගුළිය විසි කිරීමේ ඉසව්වෙන් ජයවි අල්විස් (මී. 15.69) ලෝකඩ පදක්කම දිනාගත් අතර, කාන්තා මීටර් 100 ඉසව්වට එක් වූ ෂනෙලා සෙනෙවිරත්න (තත්. 12.04) ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩකයන් 29ක්, ක්රීඩිකාවන් 25ක් ඇතුළත්ව සිටිති. මේ තරගාවලියේ අද (12) දෙවැනි දිනය වන අතර, හෙට (13) තරගාවලිය නිමා වීමට නියමිතය.