හයිලන්ඩ් කිරිපිටි මිල පහළට

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව දැනට වෙළෙඳපොළේ රුපියල් 1125කට අලෙවි කරන ග්‍රෑම් 400ක හයිලන්ඩ් කිරි පැකට්ටුවක මිල, රුපියල් 1050 දක්වා අඩු කිරීමට ද හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 190කින් අඩු කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මිල්කෝ සමාගම ඊයේ (10) සිටම මෙම අඩු කළ මිල යටතේ කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කළ ද දැනට වෙළෙඳපොළේ ඇති හයිලන්ඩ් කිරිපිටි තොග පැරණි මිලටම පවතින හෙයින් ලබන සතියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යවරයා කීය.

ඊයේ (10) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

පසුගිය වසර තුළ දෛනික කිරි එකතු කිරීම හා නිෂ්පාදනය අඩාළ වී තිබුණත් මේ වන විට මිල්කෝ සමාගම මූල්‍ය ස්ථාවරත්වය හා නිෂ්පාදන ධාරිතාව ඉහළ යෑම හේතුවෙන් ලාභ උපයන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා පැවසුවේ මිල්කෝ සමාගම සතු නිෂ්පාදන තොග වටිනාකම රුපියල් බිලියන 2.5ක් වන අතර දැනට ග්‍රෑම් 400 කිරි පැකට් මිලියන 02කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් එම තොගය ඉදිරි මාස 04 සඳහා ප්‍රමාණවත් වන බවත්ය. පසුගිය මාස හය තුළ මිල්කෝ සමාගමේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ ජනවාරි මාසයේ මිල්කෝ සමාගමේ දෛනික කිරි එකතු කිරීම ලීටර 71,760ක් වී ඇති බව ගුරුගේ මහතා අවධාරණය කළේය. සැප්තැම්බර් මාසයේ පළමු සතිය තුළ එම ප්‍රමාණය ලීටර 186,842 දක්වා ඉහළ ගොස් ඇති බව ද සභාපතිවරයා පැවැසීය.

හයිලන්ඩ් කිරි දේශීය නිෂ්පාදනයක් වශයෙන් ඉහළම ගුණාත්මකභාවයෙන් යුක්ත වීම මෙන්ම මිල්කෝ සමාගම මඟින් නිපදවන අනෙකුත් නිෂ්පාදන සියල්ල ද ඉතා උසස් මට්ටමකින් පැවැතීම නිසා වෙළෙඳපොළ තුළ ඒ සමඟ තරග කරන අනෙකුත් ආයතන පසුබෑමකට ලක්ව තිබේ. මේ නිසා ඔවුන් සතුව පවතින අමු කිරි ද මිල්කෝ සමාගමට අලෙවි කිරීමේ ප්‍රවණතාවක් පවතී. එමෙන්ම දැනට මූල්‍යමය වශයෙන් ද මිල්කෝ සමාගම ස්ථාවර වී ඇති හෙයින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමේ පියවරක් වශයෙන් හයිලන්ඩ් කිරිපිටි මිල රුපියල් 75කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව ද සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය.