බොරු සටන් පාඨ දේශපාලනය ඉදිරියට ඒ්මෙන් අපට වඩා පසුපසින් සිටි රටවල් ඉදිරියට ආවා- #AskRanil තරුණ හමුවේදී ජනපති කියයි

Gen Z පරපුර සමාජයට ඇතුළු කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට තරුණයන් පත් කිරීම තම අරමුණ බවත්, එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ට ම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (09) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවති #AskRanil තරුණ හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ලොව අනෙක් රටවල් මෙන් රටේ අනාගතය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තරුණ පරපුරට ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් වූ මාර්ගය තමා සකසා දෙනවා. බොරු සටන් පාඨ කියමින් සිදු කරන සාම්ප්‍රදායික දේශපාලනය නිසා ලොව දියුණු රටවලට වඩා ඉදිරියෙන් සිටි අප රට පසුපසට ඇද වැටුණා.

පසුගිය වසර දෙක තුළ ඇති කරගත් මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් ඉදිරියට ගෙන නොගිය හොත් නැවත රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එබැවින් රටේ සහ තරුණ පරපුරේ අනාගතය තීරණය කිරීමට මට ඉදිරි වසර 05ක කාලය අවශ්‍යයි.

2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි. අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී තිබෙනවා.

මෙහිදී තරුණ තරුණියන් යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය-

ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‍ථෙරවාදී ආර්ථිකයක් පිළිබඳ සඳහන් වෙනවා. මොකක්ද මේ ථෙරවාදී ආර්ථිකය කියන්නේ?

පිළිතුර-

එය ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවෙයි. එය වහාම ක්‍රියාත්මක කළ හැකි වැඩසහනක්.සැප්තැම්බර් 22 වැනි දා සිට මෙහි සඳහන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාක්මක කළ හැකියි. අනෙක් අයගේ තිබෙන්නේ ප්‍රතිපත්ති මිස මොනවද කරන්නේ කියා සඳහන් වන්නේ නැහැ.

ථෙරවාද ආර්ථිකය ලෙස හඳුන්වන්නේ වෙළෙඳ ආර්ථිකයකටයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය විවෘත ධර්මයක්. එය වෙළෙඳාමට සම්බන්ධයි. එදා වෙළෙඳ සමාගම්වලට ධර්මයක් තිබුණේ නැහැ. ඔවුන් පැරණි කුල ක්‍රමය අනුව වෙ‍ළෙඳ කුලය ලෙස කටයුතු කළා. බුදු රජාණන් වහන්සේගේ දේශනාව නිසා ලෝකයේ හැම තැනම වෙළෙඳාම දියුණු වුණා. බුදුරජ­ාණන් වහන්සේගේ පණිවිඩය මුලින්ම ශ්‍රී ලංකාවට ගෙනාවේ තපස්සු-භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින්. වෙ‌ෙළඳාම සමඟ එක් වූ ආගම් ධර්ම දෙකක් තිබෙනවා. ඉන් එකක් වන්නේ බුද්ධාගමයි. අනෙක ඉස්ලාම් ධර්මයයි.

වෙළෙඳ කේන්ද්‍රයක් ලෙස රජරට දියුණු වුණා. එක පැත්තකින් බටහිරින් ආවා . අරාබි පැත්තෙන් ඇවිල්ලා මාන්තායිවලට භාණ්ඩ ගෙනවිත් මල්වතු ඔය හරහා අනුරාධපුරයට ගෙනාවා. චීනය පැත්තෙන් ත්‍රිකුණාමලයට ගෙනවිත් එතැනින් අනුරාධපුරයට ගෙනාවා. ඔවුන්ට ආපසු යෑමට මෝසම් සුළඟ ආරම්භ වන තුරු බලා ඉන්න සිදු වුණා. ඒ නිසා මාස ගණනාවක් අනුරාධපුරයේ නැවතුණා. ඒ අනුව ඒ කාලේ හොඳ සංචාරක ව්‍යාපාරයක් තිබුණා විය හැකියි. ඒ නිසා අනුරාධපුරය විශාල වෙළෙඳ රාජධානියක් බවට පත් වුණා. අපි පල්ලව සහ චෝල යන රාජ්‍ය සමඟ වෙළෙඳාම සඳහා සටන් කළා. ඒ වගේම පරාක්‍රමබාහු රජතුමා මියන්මාරයට හමුදා යැව්වා. අපට අවශ්‍ය වුණේ වෙළෙඳාම සහ මුහුදු ප්‍රදේශය පාලනය කිරීමටයි.

මේ සියල්ලම රජරට රාජධානිය කඩා වැටෙන විට විශේෂයෙන්ම ථෙරවාද බුදු දහමේ බලපෑම් ඇතුව තායිලන්තයේ ද ඒ හා සමාන වෙළෙඳ රාජධානියක් ඇති වුණා.

තායිලන්තය විවෘත ආර්ථිකය පිළිගත්තා. අපිට වඩා දියුණු වුණා. ලංකාව එක තැන පල් වුණා. දැන් අපි දියුණු විය යුතුයි. ඔබ සියලු දෙනාට හොඳ අනාගතයක් තිබිය යුතුයි.

2019 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදනය වුනේ ඩොලර් බිලියන 89යි. මම උත්සාහ කරන්නේ 2050 වර්ෂය වන විට එය ඩොලර් බිලියන 350ක් 400ක් කිරීමටයි. ඒ වන විට අපි නැති වුණාට අපි මාර්ගය සකස් කර දෙන්නම් ඔබට හොඳ ශක්තිමත් රාජ්‍යයක් ගොඩ නඟන්න.

ප්‍රශ්නය-

ආර්ථිකය වර්ධනය වීමේදී ඒ තුළ තරුණයින් වෙනුවෙන් පවතින ඔබතුමා සතු සැලැස්ම කුමක්ද?.

පිළිතුර-

මට තිබෙන සැලැස්ම නම් Gen Z පරපුර, මේ සමාජයට ඇතුළු කරගනිමින් සමාජය ගොඩනැඟීමේ වගකීම භාරගැනීමේ පිරිසක් බවට පත් කිරීමටයි. තමන්ට අවශ්‍ය අනාගතය තමන් තීරණය කළ යුතුයි. මම වයස අවුරුදු 20 පමණ කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලනය පිළිබඳ ගැටලු පැවතුණා. අපි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ වැඩ කළා. එතුමා ජනාධිපති බවට පත්වුණා. ඉන් අනතුරුව අපට අවශ්‍ය ආකාරයට සමාජය නිර්මාණය කරන ලෙස එතුමා අපට කිව්වා. එතුමා ආර්ථිකය විවෘත කළා. මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. මට ඔබෙන් ඇසීමට තිබෙන ප්‍රශ්නය නම් තරුණයන් ලෙස තවත් වසර 25කින් ඔබට අවශ්‍ය සමාජය කුමක්ද කියායි.

ඒ වන විට මෙහි සිටින බහුතරයක් දෙනාට අවම වශයෙන් වයස අවුරුදු 50ක් පමණ වෙනවා. ඇතැමුන්ට මුනුපුරු මිණිපිරියන්ද සිටිය හැකියි. තමන්ට අවශ්‍ය සමාජය කුමක්ද යන්න තමන් දැනගත යුතුයි. මගේ උත්සාහ වන්නේ පසුගිය වසර දෙකෙහි මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයෙන් පසුව ජනතාවට ජීවත් විය හැකි සමාජයක් ගොඩනැඟීමයි. ඒ වගේම රටේ ආර්ථිකයත් දියුණු කිරීමයි.

අපට හැමදාම දුප්පත් රටක් වීමට බැහැ. මගේ කුඩා කාලයේදී ජපානය අපට පසුපසින් සිටියා. අද ඔබට පසුපසින් සිටින්නේ කවුද?. මියන්මාරය, ඇෆ්ගනිස්ථාන සහ ලාඕසයයි. අපි ඉක්මනින් ක්‍රියාත්මක නොවුණහොත් ඔවුන්ද අපව පසුකර ගෙන යයි.