අපේක්ෂකයන් අතර පොදු ජනතාවගේ දුක හඳුනාගත් එකම නායකයා සජිත්-හිටපු නියෝජ්‍ය කථානායක, තිලංග සුමතිපාල

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතුරින් පොදු මහජනතාවගේ දුක නිවැරදිව හඳුනාගෙන ඇති එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, හිටපු නියෝජ්‍ය කථානායක, තිලංග සුමතිපාල මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

එබැවින් මේ මොහොතේදී සජත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම අත්‍යවශ්‍ය බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මල කණ්ඩායම ඒ මහතාට සහය දීමට තීරණය කළ බවත් ඒ් මහතා පැවසීය. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය කාලෝචිත මෙන්ම මේ මෙිහොතේදී සිදු කළ යුතු අත්‍යවශ්‍යම කරුණක් බවත් ඒ් මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා:

“ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීම මේ අතිශයින්ම කාලෝචිතයි. ඒ් වගේම සජිත් ප්‍රේමදාස මහතා මේ වෙලාවේදි ජයග්‍රහණය කරවීම අත්‍යාවශ්‍යයි. රටේ ස්ථාවර භාවයට එය අතිශය වැදගත්. අපේ රටේ දේශපාලන ස්ථාවර භාවයට එය අතිශය වැදගත්. ඒ් වගේම පසුගිය කාලය තුල රටතුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. අතිවිශාල ඡන්ද පදනමකින් ජයගත්ත ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති වූ විරෝධය සමඟ ජන වරමකින් තොර ජනාධිපතිවරයෙක් පත් වුණා. ඒ් පත් කරගත්තේ තාවකාලිකව. ආයතනික වශයෙන් පවා විවිධ ගැටළු ඇති වුණා. නමුත් තාවකාලිකව පත් කර ගත් ජනාධිපතිවරයාට ඒ් එකක් වෙනුවෙන්වත් බැදීමක් තිබුණේ නැහැ.

“ඒ නිසාම රට පිළිගත් සාධාරණ පිළිවෙළකට, නියමිත පරිදි ඉදිරියට යෑමට නම් ජන සම්මුතියක් සහිත ජනාධිපතිවරයෙක් පත් කරගත යුතුයි. රට භාර ගන්නා නායකයා උතුර, දකුණ, ඇතුළු සතර කොන නියෝජනය කළ හැකි ජන නායකයෙක් විය යුතුයි. සියලු ජන නායකයන් සමඟ කටයුතු කළ හැකි, හොඳ කණ්ඩායමක් ඇති නායකයෙක් පත් විය යුතුයි. සාකච්ඡා කරමින් ඉදිරියට යා හැකි කෙනෙක් විය යුතුයි. පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම් ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය‌ යොමු කිරීමේදී ඒ්වා දෙස සංවාදශීලිව බැලුවාම එකඟතාවන්ට ආ හැකි පුළුල් දැක්මක් සහිත නායකයෙක් එක්ක කටයුතු කිරිම අතිශය වැදගත් . ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ලැයිස්තුව බැලුවම ශ්‍රී ලංකා‌ නිදහස් පක්ෂය ලෙස බැලුවාමත් ඒ ලැයිස්තුවේ සිටින අයගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මතවාදයට සමීප මතවාද දරන දේශපාලන මිතුරා, සගයා හිතවතා, ප්‍රතිපත්තිමය වශයෙන් බහුතර කරුණු වලට එකඟවිය හැකි නායකයා සජිත් ප්‍රේමදාස මහතායි. සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා කියන්නේ අපේ ප්‍රතිපත්ති සංශෝධනය වෙලා, ප්‍රතිව්‍යූහගත කරගෙන ඉදිරියට යන පක්ෂයක් ලෙස අපට අපගේ පක්ෂයේ දේශපාලන කටයුතුවලටත්, පාක්ෂිකයාටත්, නිර්මල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා හැරෙන්නට අපට කටයුතු කරන්නට කෙනෙක් නෑ. ඒ් වගේම අපට දේශ පාලන, සමාජීය, සංස්කෘතික ආදි වශයෙන් වූ අපේ අදහස්ද සමඟි ජන බලවේගයේ කරුණු හා අපේ අදහස් සමානයි. ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් කරුණු 25ක් සම්බන්ධයෙන් සැමට ජය කියන ප්‍රතිපත්තිමය කරුණු වලට සමානයි. ඒ නිසා අපේ සහාය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමඛ සමඟි ජන බලවේගයට හිමි වනවා.”