සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ තර්ජනාත්මක වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ තර්ජනාත්මක වීඩියෝවට සම්බන්ධ හිටපු යුධ හමුදා මේජර්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පසුගියදා එක්තරා දේශපාලන පක්ෂයක් විසින් පවත්වන ලද මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් සඳහා සහභාගී වූ පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් ඔස්සේ අනෙකුත් දේශපාලන පක්ෂවල ආධාරකරුවන්ට සහ සාමාජිකයින්ට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පසුගිය 7 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

එමෙන්ම අදාළ තර්ජනාත්මක හඬ පටය පිළිබඳව සංවිධාන කිහිපයක් විසින් ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලැබුණු නියෝගය මත වීඩියෝ පටයෙහි ප්‍රචාරය වන කටහඬ එම පුද්ගලයාගේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා වීඩියෝ පටය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

අදාළ සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.