සජිත්ට හෝ අනුරට බලය ලැබුණොත් 2025 අයවැය අවුල් වෙනවා-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

රටක් ආණ්ඩුකරණය පිළිබඳ අත්දැකීම් රහිත අපේක්ෂකයන් දෙදෙනකු වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා තමන් මෙවර ජනාධිපතිවරණය ජය ගත හොත් එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මැතිවරණ ප්‍රචාරණය අතරතුරදී ප්‍රකාශ කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ හඳපාන්ගොඩ මංසන්ධියේදී ඊයේ (10) පස්වරුවේ පැවති රැලියකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:

ජනපතිවරණය පැවැත්වෙන 21 දා සිට දින සියයක් ඇතුළත අයවැය සම්මත කර නොගත හොත් 2025 ජනවාරි මාසයේ 10 වැනිදාට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි වෙනවා. ජනවාරි 15 දාට ජීවත් වීම සඳහා අරගලයක යෙදෙන දිළිඳු ජනතාවට සමෘද්ධිය හෝ අස්වැසුම වැනි කුටුම්බ සහනාධාර ලබාදිය නොහැකි වෙනවා.ජනවාරි 25 දාට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නට බැරි වෙනවා. මක් නිසාද යත්: මේ දිනවලට කවුරු ආණ්ඩු කළත් මෙකී ගෙවීම් කිරීම සඳහා අයවැය සම්මත වී පාර්ලිමේන්තුවෙන් ගෙවීම් අනුමත වී තිබිය යුතුම නිසයි.

“අයවැයක් නැතිව අයවැය ලේඛනයක් සකසන තෙක් ඒකාබද්ධ අරමුදලෙන් ඉහත දැක්වූ වර්ගයේ පුනරාවර්තන වියදම් දැරීමට හැකියාවක් ඇති බව සැබෑවක්. ඒත් එසේ කළ හොත් රාජ්‍ය සේවක වැටුප් හා ජීවන වියදම් දීමනා වැඩි වීම් කිසිවක් ගෙවීමේ හැකියාවක් රටේ ජනාධිපතිවරයාට නැති වෙනවා. ඊට හේතුව රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රුපියල් පනස් පන්දහසක් දක්වා ඉහළ යන පරිද්දෙන් වන නව ඉතිහාසගත වැටුප් වැඩි වීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතු නිසයි.

“දැනට මුදල් විෂයය භාර ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව අනුව මුදල් අමාත්‍යාංශය අයවැය ලේඛනය සැකසීමේ ක්‍රියාවලියේ නීත්‍යනුකූල සහ සාම්ප්‍රදායික ආකාරයට නියැළී සිටිනවා. අයවැය ලේඛනයේ මහ ඇස්තමේන්තුව සැකසීම සඳහා ආණ්ඩුවේ සැම අමාත්‍යාංශයකින්ම මේ වන විට යෝජනා කැඳවමින් අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පූර්ව අයවැය සැකසුම් කරගෙන යනවා. නොවැම්බර් මාසය පමණ වන විට 2025 මහ ඇස්තමේන්තුවට රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ඇතුළු අනෙකුත් වැඩි වීම් 2025 අයවැය ලේඛනයට ඇතුළත් කෙරෙනවා. ගෑස් සිලින්ඩරය ජයග්‍රහණය නොකළ හොත් 2025 අයවැය අවුල් ජාලාවක් වීම වළක්වාගත නොහැකියි.”

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සමෘද්ධි රාජ්‍ය ඇමැති අනුප පස්කුවල්, සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහත්වරුන් සමඟ විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.