රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ස්ථිරයි කැබිනට් අනුමැතියත් ලැබී අවසන්

2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී නැති බවට පළවන වාර්තා සාවද්‍ය බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී අවසන් බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024-08-12 වැනි දින අදාළ ඇමැති මණ්ඩල සංදේශය යොමු කර තිබෙන බවත් හෙතෙම කීවේය. ඒ අනුව මෙවන් සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය පුවත් පළ නොකොට කරුණු සොයා බලා නිවැරදි තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

2024 මැයි මස 27 වැනි දිනැති අංක 24/විවිධ (020) දරන ඇමැති මණ්ඩල තීරණය ප්‍රකාරව රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පැවති වැටුප් විෂමතාවන් පිළිබඳ අධ්‍යයනය කර, 2025 වර්ෂය සඳහා වන අය-වැය යෝජනාවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළ බව ඒ මහතා කියා සිටියේය.

එම විශේෂඥ කමිටුව මඟින් රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් 81ක් සහ රාජ්‍ය නිලධාරීන් හා තවත් වෘත්තීය සංගම්, විවිධ සංවිධාන, ආයතන හා පුද්ගලයන් 391ක් සමඟ සාකච්ඡා පවත්වා අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් සකස් කොට තිබෙන බව ඒ මහතා කීවේය.

පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයන් හා රාජ්‍ය අංශයේ සේවකයන් මුහුණදෙන අභියෝගද සැලකිල්ලට ගෙන රාජ්‍ය පිරිවැය කළමනාකරණය කර ගැනීමට අදාළ යෝජනා ද සමඟ පවතින වැටුප් ව්‍යුහයන් සංශෝධනය සඳහා වූ උපමාණයන් හා ප්‍රමිතීන් ද රාජ්‍ය පිරිවැය අවම කිරීමට සහ ආදායම් උත්පාදන උපාය මාර්ග ඇතුළත් වූ ප්‍රතිපත්තිමය රාමුවක් මෙම අතුරු වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බව ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව ඇමැති මණ්ඩල පත්‍රිකා අංක 24/1609/601/097 වූ, ‘‘රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව” යන මැයෙන් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 – 08 – 12 වැනි දින ඇමැති මණ්ඩල සංදේශය යොමු කර ඇති බව ඇමැතිවරයා කීවේය.

මෙම අතුරු වාර්තාව ඇමැති මණ්ඩලය මඟින් සලකා බලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අතුරු වාර්තාවේ 03 ඡේදයේ සඳහන් (3.1) සිට (3.18) දක්වා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීම සහ එකී අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ 2025 වර්ෂය සඳහා වන අය-වැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදීම සිදුකර ඇති බව ඒ මහතා කියා සිටියේය.

2025 පාදක වසර ලෙස සලකා සියලු රජයේ සේවකයන් සඳහා (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රුපියල 25,000ක් ගෙවීම, රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50%-60% දක්වා වූ පරාසයකින් වැඩි වන අතර ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55,000ක් ලෙස ගෙන අනෙකුත් සියලු තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැළපීම, ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලු රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය නිලධාරීන් හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම, විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව, සක්‍රිය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි සිට ලබා දීම, දැනට පවතින බදු ප්‍රතිපත්ති තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025 ජනවාරි මස 01 වැනි දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ වේ.

ඒ අනුව උක්ත විශේෂඥ කමිටුව මඟින් ඔවුන්ගේ අවසන් වාර්තාව 2024.09.03 වැනි දින ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර එම වාර්තාවේ අංක 01 සිට 08 දක්වා වන නිර්දේශ මඟින් ඉදිරිපත් කර ඇති රාජ්‍ය සේවා වර්ගීකරණය, රාජ්‍ය සේවකයන්ගේ දීමනා, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු සහ අග්‍රහාර අය කිරීම් සම්බන්ධ නිර්දේශ සහ සංශෝධන 2025.01.01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමත් එම නිර්දේශ 2025 අය-වැය යෝජනා සඳහා අන්තර්ගත කිරීමත් සිදුකොට ඇත.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

සම්පූර්ණ අසත්‍යක්. මම කැබිනට් ප්‍රකාශක වශයෙන් කැබිනට් ලේකම්වරයා ලියා දෙන සටහන් සහිතව ඇවිල්ල තමයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ රජයේ කැබිනට් ප්‍රකාශක වශයෙන් ප්‍රකාශ කරන්නේ. වැටුප් වැඩි කිරීම ප්‍රකාශ කළේ ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී. ඇමැති මණ්ඩලය මඟින් තීරණය කළා වැටුප් වැඩි කිරීමේ ප්‍රශ්නය ඇති වුණාම ගිය වසරේදී ජනාධිපතිවරයට වැටුප් වැඩි කරන්න කිසිම සක්‍යතාවක් හැකියාවක් ඒ වසර තුළ නැති වීම නිසා රුපියල් 10,000කින් සියලු සේවකයන්ගේ වැටුපට ජීවන වියදම් දීමනාවක් ලබා දුන්නා. ඊට පසුව වසර ආරම්භ වන විට කිසිසේත් මේ රුපියල් 10,000 ගළපාගත නොහැකි බව දැනුම් දීලා වෛද්‍යවරුන්ගේ විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ආවම ඒ අවස්ථාවේ රජය ඒ සඳහා ගැළපීමක් කළා.

විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් එහෙම ඉල්ලීමක් කරාම ගැළපීමක් කළා. ඒ අවස්ථාවෙත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා හිටපු ජනාධිපති ලේකම්වරයකු වන උදය ආර් සෙනවිරත්න මහතා ඇතුළු රාජ්‍ය, පෞද්ගලික අංශවල කමිටුවක් පත් කළා. ඒ කමිටුවට භාර දුන්නා මාස 03ක් ඇතුළත විෂමතා ඉවත් කරන්නත්, 2025 අය-වැය ලේඛනයට වැටුප් වර්ධකය ලබා දෙන්නත් අදාළ යෝජනා ඉදිරිපත් කරල වාර්තාවක් දෙන්න කියලා. එහි අතුරු වාර්තාවක් ලැබුණා. අතුරු වාර්තාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් අනුමැතියෙන් ඒ වැටුප් වැඩි වීම ලබා දෙන්න යෝජනා කළා. සෑම මසකටම රුපියල් 25,000 බැගින් අවුරුදු තුනක් යටතේ නොවෙනස්ව ජීවන වියදම් දීමනාවක් ගෙවන්න. මූලික වැටුප සියයට 24යි 50 අතර ප්‍රමාණයකින් වැඩි කරන්නත් ඒ දෙකේ ප්‍රතිඵලයක් ලෙස පහළම මට්ටමේ සේවකයන්ට රුපියල් 55,000ක වැටුපක් දෙන්න. ඒ සඳහා මම ඔබට සාමාන්‍ය කැබිනට් පත්‍රිකාවක් විටෙක ඉදිරිපත් කළේ නැතත් මේ කැබිනට් පත්‍රිකාව පැහැදිලිව ඉදිරිපත් කරනවා. මේ කැබිනට් පත්‍රිකාවට අමුණලා තිබෙනවා. 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කරන්න කියලා කැබිනට් තීරණය තිබෙනවා. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් පිටතට දෙන්නේ නැහැ. මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම නිසා මම කැබිනට් ප්‍රකාශක වශයෙන් ඉදිරිපත් කරනවා. ඕනෑම කෙනකුට මෙය පිටපත් කරගන්න පුළුවන්.