මාලිමාව දෙන පොරොන්දු ඉටු කරන්න ගියොත් වසරකට රුපියල් කෝටි හාර ලක්ෂයක් රටට අහිමි වනවා-හඟුරන්කෙත-නාවලපිටිය-දෙහිඕවිට-ගම්පොළ ජන රැලි අමතමින් ජනපති කියයි

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න ගිය හොත් වාර්ෂිකව රුපියල් කෝටි හාර ලක්ෂයක් හෙවත් රුපියල් බිලියන හාරදහසක් රටට අහිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (9) පැවසීය. ඔහු මේ බව කියා සිටියේ හඟුරන්කෙත, නාවලපිටිය, දෙහිඕවිට සහ ගම්පොළ ප්‍රදේශවල සංවිධානය කර තිබූ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජන රැලි අමතමිනි.

එම ජන රැලි අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය:

“මේ තමයි මම ගම්පොළ දැකපු විශාලතම සෙනග. අප අනිවාර්යයෙන්ම දිනනවා, දිනනවා, දිනනවා. මා ජනාධිපති ධුරය භාර ගත්තේ ඔබට කන්න දෙන්න; පෙට්‍රල් දෙන්න; ඔබට ඩීසල් දෙන්න; ගෑස් දෙන්න; බෙහෙත් දෙන්න; ඔබේ ආර්ථිකය බලගන්වන්න මෙන්ම ලංකාව බලගන්වන්න. මා රට භාර ගෙන අවුරුදු දෙකක් යන විට ඒ කාර්යය අරඹා තිබෙනවා. අද ඔබට ජීවත් වන්න පසුබිම හැදී තිබෙනවා.

“මා භාර ගත් කාලේ රට භාර ගන්න කවුරුවත් හිටියේ නෑ. ඒ කාලේ සජිත්ලා, අනුරලා ජනතාව තනි කර දිවුවා; ඔබට කෑම දෙන්න බෑ කිවුවා; ඩීසල් දෙන්න බෑ, පෙට්‍රල්, බෙහෙත් දෙන්න බෑ කිවුවා. මා ඇවිත් ඔබට ඒ සියල්ල දුන්නා. දැන් ඒ අය මට රනිල් රාජපක්ෂලු. මම රාජපක්ෂලා ආරක්ෂා කළේ නෑ.

මා ආරක්ෂා කළා නම්, ඔවුන් මා සමඟ මේ වේදිකාවේ සිටිය යුතුයි. මා ආවේ ජනතාව ආරක්ෂා කරන්නයි. ජනතාව ජීවත් කරවන්න උදවු වෙන්නැයි මා ඔවුන්ගෙන් ඉල්ලුවා. ඔය දැන් කෑගහන අය කිසි වෙලාවක මට උදවු දුන්නේ නැහැ. දැන් රට භාර දෙන්නැයි ඉල්ලන්නේ මේ අයද? මේ අයට ඉදල පෙන්නා පන්නාදැමිය යුතුයි.

“මා රට භාර ගනිද්දී රටට අනාගතයක් තිබුණේ නෑ. මා මූල්‍ය අරමුදලට ගියා; මා දන්නා ලෝක නායකයන් අතරට ගියා. මේ රටේ ණය බර ආර්ථිකයට දරාගන්න නොහැකි බවත්, ආර්ථිකය කැඩෙන්න යන බවත් මූල්‍ය අරමුදල මට කිවුවා. ණය සීමා කරන ලෙසත්, මීට පසු ණය නොගන්නා ලෙසත් ඔවුන් දැනුම් දුන්නා; රුපියලේ අගය අඩු වන නිසා මුදල් අච්චු ගහන්න එපා කිවුවා; බැංකුවලින් ණය ගන්න එපා කිවුවා. අප අමාරුවෙන් ආදායම් හොයාගත්තා. මාරුවෙන් හරි වැට් බදු වැඩි කරන්න සිදු වුණා. ජනතාවට අමාරුයි කියා මා දන්නවා. අප ගත් පියවර නිසා රුපියල ශක්තිමත් වුණා; බඩු මිල අඩු වුණා. ඒත් ආදායම වැඩි වුණේ නැහැ. ජනතාව වින්ද දුක මම දන්නවා. ඒත් අසීරු තීරණ ගත්තොත් රුපියල ශක්තිමත් කරන්න පුළුවන් කියා මා දැක්කා. කෙසේ හෝ දැන් ආර්ථිකය දුවන තැනට ඇවිත් තිබෙනවා. “මේ සියල්ල සිදු කර දැන් මා ඡන්දෙට එනවා. ඒ සඳහා ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහන මා ඉදිරිපත් කර තිබෙනවා. අපට රැකියා බිහි කරන්න, බදු බර අඩු කරන්න හැකියාව තිබෙනවා. එමෙන්ම උරුමය, අස්වැසුම ආරක්ෂා කරන්න, අපනයන ආර්ථිකයක් බවට පත් කරන්න අප කටයුතු කරනවා. මා රුපියල ශක්තිමත් කරන විට ඔබ සැමගේ ජීවන බර සැහැල්ලු වනවා. ඊළඟ වසර පහ ඇතුළත මා තවදුරටත් එය කරනවා. 2026 වසර වන විට මා රට සාමාන්‍ය අතට ගෙන එනවා; රැකියා බිහි කරනවා; සංචාරක ව්‍යාපාරය දෙගුණයක් කරනවා; වැඩි වන ලෝක ජනගහනයට අනුව ආහාර සැපයීමට කටයුතු කරනවා; ආයෝජන කලාප බිහි කිරීමට කටයුතු කරනවා; එන වසරේ සිට තරුණ තරුණියන් සඳහා රැකියා ලක්ෂයක් බිහි කිරීමට ආණ්ඩුව මුදල් වැය කරනවා. ‘අස්වැසුම’ තවත් දීමට තිබෙනවා. ‘උරුමය’ ඉඩම් ඔප්පු දෙනවා. එයින් ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය දෙනවා. එමෙන්ම ලැයින් කාමර වෙනුවට වතු ගම්මාන බිහි කරනවා. අපි ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරමු. ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්තිය අනුව ඉදිරියට යා යුත්තේ ඒ නිසයි.

“ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින අනෙක් අය රට හදන ආකාරය ගැන කියන්නේ මොනවාද? සජිත් ගැන මොනවා කියන්නද? ඔවුන් හැම දෙයක්ම නොමිලේ දෙන බව කියනවා. තව ටික දවසකින් ඔවුන් බඩු ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවා කියලත් කියාවි! මාලිමාවෙන් ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ කියා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අය කියන්නේ කෝපි කඩේ කතා. මාලිමාව කියන විදියට අයවැය හැදුවොත් ආරම්භ වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල 400-450 අතර අගයකින් ඉහළ නැඟලා. එහෙම වුණොත් උද්ධමනය 25%කට යනවා. අපට ණය ගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ක අගයක් දක්වා පමණයි. දැනට අපේ වාර්ෂික වියදම ඩොලර් බිලියන 6,800ක් පමණ වෙනවා. ඒත් ආදායම ඩොලර් බිලියන 5,100ක්. මේ අනුව අපට පරතරයක් තිබෙනවා. ඒ පරතරය පියවීම සඳහා 5%කට වඩා අඩු පොලියකට ණය ගැනීමට මා බලාපොරොත්තු වනවා. එවිට අපේ අයවැය පරතරය පියවීමට හැකියාව ලැබෙනවා.

“මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන්ගේ අයවැය පිළිබඳ මා සලකා බැලුවා. රුපියල් බිලියන 8,900ක් මාලිමාවේ ප්‍රතිපත්ති අනුව වියදම යනවා. මේ අය කියන පරිදි බදු අඩු කළ විට ආදායම රු. බිලියන 4,900ක් පමණයි. අපගේ අයවැය අනුව ලබන ආදායම බිලියන 5,100යි. රු. බිලියන 4,000ක් අඩු වී තිබෙනවා. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9%ක් අඩු වී තිබෙනවා. ඉතින් ඉතිරි ටික හොයාගන්නේ කොහොමද? ණයට සල්ලි ගන්න ගියොත් ඔවුන්ට පොලිය 25%ක්වත් ගෙවන්න වේවි. සල්ලි අච්චු ගහන්න ගියොත් මොකද වෙන්නේ? කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ ඩොලරය 500ක් වේවි.

“මා අහන්න කැමතියි මා මිත්‍ර… ආ, මට ‘මිත්‍රයා’ කියන්න එපා කියා තිබෙනවා. හිටපු කෘෂිකර්ම ඇමැති අනුරගෙන් මම අහනවා. මේ අයවැය මොකක්ද? මිනිසුන්ට නැවත මෙහෙම බර පටවන්න හදන්නේ ඇයි? වහාම සංඛ්‍යාලේඛන කියන්න. නිකං කෝපි කඩේ කතා කියන්න එපා. ජනතාවට දාන්න යන බර ගැන කියන්න. හිල් තියෙන බැනියම් අඳින කෙනා සහ ඩොක්ට සූරියප්පෙරුම මෙය හැදුවා නම් ඒ අය උත්තර දෙන්න. මේ අයට ආර්ථිකය සැලසුමක් නෑ. ආර්ථිකය නැවත කඩනවා. එහෙම වුණොත් ගෝඨාභයගේ කාලෙට වඩා අමාරු තත්ත්වයක් අනුර යුගයක් ආවොත් ඇති වේවි. මේ නිසා ඔබ ඡන්දය දෙන්නේ කාටද කියා හොඳින් සිතා බලා තීරණය කරන්න.”

හිටපු අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය:

“රනිල් වික්‍රමසිංහ මහතා භාර ගත්තේ කඩාවැටුණු ආර්ථිකයක් සහිත රටක්. එහෙම භාර ගත් රට අවුරුදු දෙකක් තුළ ආර්ථික වශයෙන් එතුමා ගොඩදැම්මා. එදා මම විපක්ෂයේ හිටියේ. අපෙන් එතුමා සහයෝගය ඉල්ලුවා. කවුරුත් දුන්නේ නැහැ; එතුමාට රනිල් රාජපක්ෂ කියලා බැන්නා; අවමන් කළා. එතුමා ඒවාට සැලුණේ නැහැ. ජනතාව ආරක්ෂා කරන්න ගිහින් තමයි එතුමා බැනුම් ඇහුවේ. එතුමා ජන දුක දන්නා නායකයෙක්.”

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහතා:

“ගම්පොළ නගරයම අද මහ ජනතාවගෙන් පිරිලා. මෙතරම් ජනතාවක් ඉතිහාසයේ කිසිම දාක දේශපාලන රැස්වීමකට ඇවිත් නැහැ. ගම්පොළ නගරයේ පිරුණු ඓතිහාසික දවස අදයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. ගම්පොළ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ආගම්, ජාති, භේද දුරලා එතුමාගේ ජයග්‍රහණයට කැප වන බව මෙයින් කියවෙනවා. මේ අය කියන්නේ ‘අනම්මනං වානා! රනිල් තමයි ඕනා!’ කියලයි.”

හිටපු ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:

“අපට අද මේ තරම් විශාල ජනතාවක් ගම්පොළට රැස් කරගැනීමට හැකි වුණේ වෙන මොකුත් නිසා නෙවෙයි. අපේ රට ආර්ථික වශයෙන් කඩාවැටුණු වෙලාවේ. එයින් රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා නිසයි. එතුමා අමාරු වෙලාවේ රට භාර ගෙන කළේ විශ්වකර්ම වැඩක්. බලන්න අපේ වේදිකාව දිහා. මෙතන ශ්‍රී ලංකා‍වේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ඉන්නවා. අපේ වේදිකාවේ තමයි සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් එකතු වෙලා ඉන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් සිලින්ඩරයෙන් දිනන බව නියතයි. ඒ පණිවිඩය තමයි අද මේ දෙන්නේ.”

ජාතික ජල සම්පාදන හා ජලාපවහන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා‍:

“අද මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දැවැන්තම ජනතා රැලිය ගම්පොළ පැවැත්වෙනවා. මෙතැනට ඇවිත් ඉන්න වතුකරයේ ජනතාව කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජය අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට අත් කර දෙන බවයි. එතුමා අභියෝග භාර ගත් නායකයෙක්; ඒවා ජය ගත් නායකයෙක්. එහෙම අයෙක් තමයි අපට ඕනැ කරන්නේ. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප ඉදිරියේදී මහන්සි වී වැඩ කළ යුතුයි; ජනතාව දැනුවත් කළ යුතුයි. කළ ගුණ දන්නා ජනතාව එතුමා දිනවන්න බලාගෙන ඉන්නවා.”

මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා:

“අද තුන්කෝරලයට, සතර කෝරලයට ඓතිහාසික දවසක්. ජනාධිපතිතුමා රට භාර ගෙන ආර්ථිකය ගොඩ ගැනීමට ඉතා ශක්තිමත් ලෙස අඩිතාලම දැම්මා. ඒ සඳහා අප සමඟ එකතු වී එතුමා පසුගිය අවුරුදු දෙකහමාරේ ගත් වෙහෙස අපමණයි. අප කොහොම වුණත් කළගුණ දන්නා ජනතාවක්.”

තොරතුරු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා:

“කෑගලු දිස්ත්‍රික් ජනතාව පමණක් නොවෙයි, අද මුළු රටේම ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට පෙළගැසී අවසන්. රටේ අනාගතය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දිය යුතුයි. එතුමාට පමණයි ආර්ථිකය දියුණු කළ හැක්කේ. නිසි දැක්මක්, වැඩපිළිවෙළක්, දුරදැක්මක් තිබෙන්නේ එතුමාට විතරයි.”

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන නීතිඥ දුෂ්මන්ත මිත්‍රපාල සහ උදයකාන්ත ගුණතිලක, රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල, එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට ආසනයේ ප්‍රධාන සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුපිල්ලේ වේළුකුමාර් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක්ද මේ ජනරැලි අමතා කතා කළහ.

ජයසිරි මුණසිංහ, කෑගල්ල දිස්ත්‍රික් සමූහ